කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලාබසින කෙසෙල්ගමු ඔයේ මත්ස්‍යයින් ඇල්ලීමට ශාක වර්ගයක් උපයෝගි කරගෙන සකස් කරන ලද ද්‍රාවණයක් ඔයට මුසු කළ සැකකරුවෙක් නෝර්වුඩ් පොලිසිය මගින් ඉකුත්දා (09) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල
පවතින අධික වියළි කාලගුණයත් සමග කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම අඩුවී ඇති නිසා නෝර්වුඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමු ඔයේ වෙසෙන මත්ස්‍යයින් ඇල්ලීම සඳහා උපක්‍රමයක් වශයෙන් ශාක වර්ගයක් තවත් ද්‍රව්‍ය කිහිපයක් සමග මිශ්‍රකර කොටා සකස් කර ජලයට මුසුකරන බව නොර්වුඩ් ප්‍රදේශවාසීහු කියා සිටියහ.

එම ශාක වර්ගය සකස්කර ගන්නා  ලද මිශ්‍ර ද්‍රාවණය ජලයට මුසුවීමත් සමග කෙසෙල්ගමු ඔයේ වෙසෙන මසුන් මත්වී ජලයේ පාවෙන බවත්, ඉන් අනතුරුව පාවෙන මත්ස්‍යයින් අල්ලා අලෙවි කරන බවත් නෝවුඩ් ප්‍රදේශවාසීහු පැවසුහ.නොර්වුඩ් ප්‍රදේශයෙන් (09) දින දහවල් එම ද්‍රාවණය ජලයට මුසුකර ඇති අතර ද්‍රාවණය කෙසෙල්ගමු ඔයට මුසුකළ ස්ථානයේ සිට කාසල්රී ජලාශය දක්වාම කෙසෙල්ගමු ඔයේ වෙසෙන මත්ස්‍යයින් මත්වී ජලය මත පාවෙමින් සිටි බව නෝර්වුඩ් ප්‍රදේශවාසීහු පැවැසූහ.

එම ද්‍රාවණය ජලයට මුසුවීමෙන් ඇතැම් මත්ස්‍යයන් සහ කෙසෙල්ගමු ඔයේ වෙසෙන තවත් ජීවින් මියයන බවද නෝවුඩ් ප්‍රදේශවාසීහු කීහ. පාවෙමින් සිටි මත්ස්‍යයින් විශාල පිරිසක් අල්ලමින් සිටියදී නෝවුඩ් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණෙන විට සැකකරුවෝ පලාගොස් තිබුණි.  පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෝර්වුඩ් පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇත.

-රංජිත් රාජපක්ෂ-