ඉකුත් සමයේ තාප්ප, බස් නැවතුම්, පාලම් කණු ඇතුළු ස්ථානවල විදී සිතුවම් ඇදි සිත්තරුන් අතරින් හොදම සිතුවම් හා සිත්තරුන් තෝරා ත්‍යාග හා සමාන පිරිනැමීමේ  වැඩසටහනක් පරිසර රාජ්‍ය අමාතයාංශය ආරම්භ කර ඇත. මේ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින්
හා ජාතික මට්ටමින් දක්ෂයින් තෝරා සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට බලාපොරොත්තු වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම අමාත්‍යංශයේ  පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.


මේ සඳහා අයදුම්පත් මේ මස 10 වැනිදා සිට මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලින් නිකුත් කරන බවත් අයැදුම්පත සමග උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ අනුව හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය, හොඳම ස්වතන්ත්‍ර නිර්මාණ පෙළ, හොඳම සිතුවම් පෙළ, හොඳම සිතුවම, අපූර්වතම සිතුවම් පෙළ, අපූර්වතම සිතුවම, හොඳම තේමාව යන අංශවලින් ප්‍රාදේශිය දිස්ත්‍රික් පළාත් හා ජාතික මට්ටමින් ජයග්‍රාහකයන් තෝරන බවත් ජාතික කලා මණ්ඩලයේ චිත්‍ර අනු මණ්ඩලය විසින් හොදම සිතුවම් තේරීම් සිදු කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

අයදුම්කරුවන් මේ මස 25 වැනි දිනට පෙර තම අයැදුම්පත් ලේකම්, පරිසර රාජ්‍ය අමාත්‍යාංශය සොබා දම් පියස, රොබට් ගුණවර්ධන මාවත බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු යැයි ද ඔහු පැවසීය. මෙම සිතුවම් උළෙල දැනට "නූතන බිතුසිතුවම් අගැයීම් උළෙල ලෙස නම්කර ඇති බවත් ඒ සඳහා වඩාත් ගැළපෙන නමක් යෝජනා කිරීම සඳහාත් තරඟයක් පවතින බවත් පැවසූ ඒ මහතා ඒ සඳහා ද ත්‍යාග හා සහතික පිරිනැමිමට බලාපොරොත්තු වන බවත් කීය.

චිත්‍ර සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවය මාර්තු මාසයේ පමණ පැවැත්වීමට නියමිත බව පැවසූ රාජ්‍යය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මේ සඳහා සහභාගීවේ යැයි තමන් බලාපොරොත්තු වන බවද පැවසීය. රට ගැන හැඟීම් චිත්‍ර ලෙසින් මුදා හළ රටේ තාරුණ්‍යයට කරන උපහාරයක් ලෙසින් මෙම තරගය පැවැත්වීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා පරිසර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ මෙන්ම රජයේ ආශිර්වාදය හිමිවී ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

-වීනිතා එම්.ගමෙග්-