මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා (14) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග  පෙබරවාරි 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) නියෝග කළේය.

විත්තියේ නීතිඥයන් විසින් හිටපු තානාපතිවරයාට ඇප නියම කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. හිටපු තානාපතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ
ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ තනතුරට නොඅඩු නිලයක් දරන පොලිස් නිලධාරියකු විසින් වටිනාකම් සහතිකයක් ඉදිරිපත් කර නොතිබීමත් මිග් යානා ගනුදෙනුව සිදුවී ඇත්තේ මිග් යානා නිෂ්පාදනය කර ඇති යුක්රේන ටාජ් මිග් යානා ගනුදෙනුවේ මූලය ආයතනයක් ලෙස බෙලමිසා හෝල්ඩින්ග්ස් යන සමාගමත් ශ්‍රී ලංකා රජයත් පාර්ශව කිහිපයකුක් සම්බන්ධ වී ඇති ගනුදෙනුවක් වන නිසාත් හිටපු තානාපතිවරයාට ඇප නියම කිරීමටට හැකියාවක් තිබෙන බව ඔහුගේ නීතිඥවරු පැවැසූහ.

මහෙස්ත්‍රාත්වරයා පොදු දේපළ පනත සම්බන්ධව දන්වා සිටියේ පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වැරැදි සම්බන්ධයෙන් සහකාර පොලිස් නිලධාරියකුට නොඅඩු නිලයක් දරන පොලිස් නිලධාරියකු විසින් වටිනාකම් සහතිකයක් චෝදනාවලට අදාළව ඉදිරිපත් කළ යුතු වුවත් ඉදිරිපත් වී ඇති කරුණු අනුව ගනුදෙනුව හරහා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක පාඩුවක් සිදුවී තිබෙන බවට පැහැදිලිව පෙනෙන්නට තිබීමත් වරදේ බරපතළකමත් එම වරදවල් සම්බන්ධව ඇති විය හැකි මහජන ප්‍රතිචාරයත් කැලඹීමත් යන කරුණු සලකා බලමින් ඇප ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන බවය. සිද්ධියට අදාළව 2015 වසරේ සිට 2020 වසර දක්වා අවුරුදු 5ක කාලයක් සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන ලද විමර්ශන නිලධාරීන් වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ නිහාල් ෆ්‍රැන්සිස් යන නිලධාරියා විමර්ශනවලින් ඉවත්කිරීම සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව වර්තමානයේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ නිහාල් ෆ්‍රැන්සිස් යන නිලධාරියා මීගමුව කොට්ඨාසය සඳහා මාරුකර යැවූ බවත් එවකට එම සිද්ධියට අදාළ විමර්ශන අධීක්ෂණය කළ නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ පවිත්‍ර දයාරත්න නමැති නිලධාරියා 119 ඒකකයට මාරුකර යවා ඇති බවය.

අවුරුදු 5ක් එක දිගට සිද්ධියට අදාළ විමර්ශන සිදුකළ විමර්ශන නිලධාරියා අනෙක් නිලධාරියා මාරු කිරීම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවන්නේ නැද්ද යන්න පිළිබඳවත් එවැනි දීර්ඝ විමර්ශනයක් සහ සංකීර්ණ විමර්ශනයක් අලුත් නිලධාරියකු සිදුකරන්නේ කෙසේදැයි මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ අදාළ නිලධාරීන්ගේ මාරුවීම් සිදුකර ඇති බවය. ඒ සම්බන්ධව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මිග් යානා සිද්ධියට අදාළව විමර්ශන සිදුකළ පළමු නිලධාරීන් වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් අධිකාරීවරයා නැවත විමර්ශන සඳහා පත්කිරීමට හැකියාවක් තිබේද? එලෙස පත්කිරීමට හැකියාවක් නොමැති නම් හැකියාවක් නොමැත්තේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කෙරිණි.

රුපියල් 25,000කට වැඩි වටිනාකමකින් යුත් පොදු දේපළ විෂයෙහිලා ගැනෙන චෝදනාවක් සම්බන්ධව සහකාර පොලිස් නිලධාරියකුට නොඅඩු නිලයක් දැරූ පොලිස් නිලධාරියකු විසින් වටිනාකම් සහතිකයක් ඉදිරිපත් කළයුතු වුවත් රජයට සිදුවී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වටිනාකම් සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බවටද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

ඉකුත් සිකුරාදා පැමිණිලි පාර්ශවය නියෝජනය කරමින් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධියට අදාළව හිටපු තානාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරනු ලබන්නේ කුමන පනතින්ද යන්න පිළිබඳව සඳහනක් නොමැති බවට ප්‍රකාශ කළ බවද සිද්ධියට අදාළව හිටපු තානාපතිවරයාගෙන් දවස් 10කට අධික කාලයක් ප්‍රකාශ ලබාගත යුතු බවත්, එය බන්ධනාගාරය තුළ ලබාගැනීම අපහසු බවටත්, ප්‍රකාශ කළ බවද ඒ පිළිබඳව (17දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කරුණු නොදක්වන බවද සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට (17දා) අධිකරණයෙන් අවසර ඉල්ලා නොමැති බවද ප්‍රකාශ කර සිටි මහෙස්ත්‍රාත්වරයා අපරාධ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය තේරුම්ගත නොහැකි බවද වැඩිදුරටත් දන්වා සිටියේය.

විත්ති පාර්ශවය වන තානාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥයන් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මතා පෙනී සිටි අතර, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහත්වරු පෙනී සිටියහ.

සිද්ධියට අදාළ නඩුව මේ මස 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.

- අමිල අබේරත්න -