පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබූ හඩපට පහ ලබන සතියේ දී මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ හඬපටවල අසභ්‍ය හා ජාතික ආරක්ෂාවට හානිකර කොටස් ඉවත් කර ඒවා මැතිසබයට ඉදිරිපත් කළ හැකි බවට ඒ හඬපට පරික්ෂාවට පත් කෙරුණු මන්ත්‍රී කමිටුව කතානායක කරු ජයසූරිය මහතාට දැනටමත් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.


මන්ත්‍රී කමිටුවේ සාමාජිකයන් පෙරේදා (09) කතානායක කාර්යාලයේ දී මේ හඬපටවලට පැය දෙකකට වැඩි කාලයක් සවන්දී ඇතැයි වාර්තා වෙයි.

මේ හඬ පට පහේ දුරකතන සංවාද 19ක් අන්තර්ගත වන බවත් ඒවායේ වැඩි වශයෙන් අඩංගු වී තිබුණේ “කුණුහරුප" බවත් හඬපට පරීක්ෂා කෙරුණු කමිටුවේ මන්ත්‍රීවරයෙක් පැවැසීය. මේ හඬපට සංස්කරණය නොකර ඉදිරිපත් කළහොත් පවුල් අවුල් පවා ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඬපට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට ඉකුත්දා බාරදෙනු ලැබීය.

ඒඅනුව පාර්ලිමේන්තු පක්ෂ නායකයන් රැස්වී ගත් තීරණයක් අනුව හඬපට පරීක්ෂා කිරීමට මෙම මන්ත්‍රී කමිටුව පත් කෙරිණ. මෙම මන්ත්‍රී කමිටුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, මහනුවර දිස්ත්‍රික් එජනිස පාරිලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.

- සුජිත් හේවාජුලිගේ -