දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියයක් නියෝජනය වන පරිදි එළඹෙන මාර්තු මස පළමු වැනිදාට පෙර ඉඩම් සඳහා දීමනා පත්‍ර ලක්ෂ දෙකක් ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, ජනතාව තමන්
වෙත නොගෙන්වා ජනතාව වෙත ගොස් සහන ලබාදීම නව රජයේ ප්‍රතිපත්තියක් බවත් ඉඩම් හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ පිළිබඳ පවසා සිටියේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක ජනතාව වෙනුවෙන් දීමනා පත්‍ර පන්සිය හැත්තෑ දෙකක් බෙදාදීම සඳහා මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ (19දා) පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මහජනතාව ඉඩමකට ඔප්පුවක් ගන්න ගිය විට ග්‍රාම නිලධාරිවරයාගේ පටන් ඇමතිවරයා දක්වා නිලධාරීන් විශාල පිරිසක් වෙත යා යුතුයි. සමහර නිලධාරීන් ඇතැම් දිනවල නැහැ. ඒ නිසා ජනතාව විශාල අපහසුතාවකට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ජනතාවට සේවය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු, කරමින් තිබෙනවා.

ඒ වගේම කාර්යාලවල දිගු පෝලිමක් දක්නට ලැබෙනවා. එම නිසා ජනතාව වෙත ගොස් සේවය ලබාදීමේ ක්‍රමය නිසා මිනිසුන්ගේ කාලයත් ශ්‍රමයත් විශාල වශයෙන් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. රටක් දියුණු වන්නේ එවිටයි. පසුගිය කාලයේ ජනාධිපතිතුමාම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ඒ කටයුතු සොයා බැලීම තුළින් සේවය විමධ්‍යගත කර වඩාත් කාර්යක්ෂම ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් නැතිවුවත් අපි විශාල වැඩ කොටසක් මේ වෙනකොට සිදුකර තිබෙනවා. ඉදිරියට එය තවත් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලලිත් වර්ණකුමා, ජගත් අංගගේ, කළුතර දිස්ත්‍රික් ලේකම් යූ ඩී.සී ජයලාල්, අගලවත්ත, මතුගම, මදුරාවල, දොඩන්ගොඩ, පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

-ප්‍රේමතිලක පෙරමුණ-