හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හඩ පට කිහිපයක් පෙරේදා  (22) පස්වරුවේ පාර්ලිමේත්තුවට බාරදී සුළු මොහොතකින් ඒවා ආපසු  ඉල්ලාගෙන ගොස් ඇතැයි වාර්තාවේ.  ඔහු ඒවා නැවත රැගෙන ගොස් ඇත්තේ අනවශ්‍ය හඩ පට කිහිපයක් තිබෙන හෙයින් ඒවා ඉවත් කිරිමට අවශ්‍ය බව පවසමින් යැයි
පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ සම්බන්ධයෙන් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාහේන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රන්ජන් රාමනායක මහතා හඬ පට කිහිපයක් පාර්ලිමේන්තුවට බාරදී නැවතත් ඒවා ඉල්ලාගෙන ගිය බවය. කෙසේ වෙතත් එසේ ආපසු ඉල්ලාගෙන ගිය හඬ පට
ඊයේ පස්වරු වනවිටත් පාර්ලිමේන්තුවට බාරදී නොතිබිණි. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු  රැස්වීමේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

රන්ජන් රාමනායක හඬ පට කිහිපයක් ගෙනවිත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පෙරේදා බාර දුන්නා. ඒවා බාරගත් බවට  ඔහුට රිසිට් පතකුත් ලැබුණා. පසුව මේ හඬ පට හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ගෙන යන අතරවාරයේදී රන්ජන් රාමනායක මහතා නීති උපදෙස් අනුව ඒවා ආපසු ඉල්ලා ගෙන තියෙනවා. මේක තමයි සිද්ධ වුණේ.

විනිසුරුවන්, අගවිනිසුරුවන්, විවිධ නායකයන් සමග කළ සංවාද ඇතුළත් හඩ පට රැසක් තමන් සතුව පවතින බවත් ඒවා සභාවට ඉදිරිපත් කරන බවත් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

-අංජුල මහීක වීරරත්න-