නිකවැරටිය, කොටවෙහෙර 13 හැවිරිදි දැරියකගේ අත් පා බැඳ ඇයට දරුණු වධහිංසා කිරිමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල හාර නොගැනීම සම්බන්ධයෙන් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථානවල ළමා සහ කාන්තා කාර්යාංශවල ස්ථානාධිපති තනතුරු
දැරු උපපොලිස් පරික්ෂකවරියන් දෙදෙනාගේ සේවය ඊයේ අත්හිටුවනු ලැබ ඇත. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා කාන්තා උපපොලිස් පරිකෂකවරියන් දෙදෙනාගේ වැඩ තහනම් කරනු ලැබුවේ නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි එල්. සමරකෝන් මහතා විසිනි.

නිකවැරටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂිකා ඉමාෂි ලක්ෂි ප්‍රේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂිකා සඳරේඛා අත්තනායක යන දෙදෙනාගේ සේවය මෙසේ අත්හිටුවනු ලැබ ඇත. කොටවෙහෙර, දිගන්නෑව ප්‍රදේශයේ නිවසකදී පසුගිය පළමු වැනිදා කාන්තාවන් දෙදෙනකු 13 හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දුන් අවස්ථාවකදී දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි තරුණයා ඔහුගේ ජංගම දුරකථනයෙන් එය විඩියෝ ගත කර ඇති බවත් පසුව ඔහු දැරියගේ මව සොයාගෙන ගොස් එම වීඩියෝ ඇයට පෙන්වා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

සිය දියණියට සැමියාගේ දෙවැනි බිරිය බව කියන කාන්තාව සහ තවත් කාන්තාවක් අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන රූප රාමු දුටු දැරියගේ මව එදින පස්වරු 3 ට පමණ එම වීඩියෝ පටය ලබාගෙන සිද්ධිය ගැන පැමිණිලි කිරීමට නිකවැරටිය මූලස්ථාන පොලිසියට ගිය අවස්ථාවේදී මේ සිද්ධිය කොටවෙහෙර පොලිස් වසමේ සිදුවූවක් නිසා එම පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරන ලෙස එහි ළමා හා කන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය දැරියගේ මවට පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ
පොලිස් නිලධාරියා කීය.

දැරියගේ මව එදිනම පස්වරු 5.30ට පමණ අදාළ වීඩියෝ පටයද රැගෙන කොටවෙහෙර පොලිස් ස්ථානයට ගොස් ඇති බව කී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සටහන් කර ගතහොත් පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියට අමතරව තවත් තරුණයකුද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පවසමින් කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියද පැමිණිල්ල බාර නොගෙන දැරියගේ මව ආපසු යවා ඇති බවද කීවේය. පහර කෑමට ලක් වූ දැරියගේ මවගේ පැමිණිල්ල බාර නොගැනීමෙන් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යාංශවල ස්ථානාධිපතිවරියන් සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති බවද ඔහු පැවසීය.