අනතුරුවලට ලක්වී වැටී සිටි දුර්ලභ වර්ග දෙකක උකුස්සන් දෙදෙනෙකු නවගත්තේගමදී පසුගියදා (25දා)
බේරාගෙන මේ වනවිට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව
නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි. මෙසේ අනතුරට ලක්වී වැටී සිටින බවට ලද තොරතුරකට අනුව 'සර්ප උකුස්සා' සහ 'කොණ්ඩ උකුස්සා' මුදාගත් බවද මේ වනවිට ප්‍රතිකාර ආරම්භ කර ඇති බවද පශු වෙද ඒකකය පවසයි.

මෙම උකුස්සන් දෙදෙනාගේ පාදයකට සහ පියාපතකට හානි සිදුවී ඇති බවද ප්‍රතිකාර අවසන්ව සම්පුර්ණ සුවය ලැබුණු පසු උකුස්සන් දෙදෙනා රක්‍ෂිතයකට මුදාහරින බවද පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.  පශු වෛද්‍ය ඒකකය භාර වනජීවී පශු වෛද්‍ය එච්.කේ. ඉසුරු මහතාගේ මූලිකත්වයෙන් අඩවි සහකාර, මංජුල විජේපාල, වන සත්ත්ව නියාමකවරුන් වන ලලිත් පෙරේරා, ධනුක ඒකනායක, රියැදුරු එච්.එම්.වයි.එස්. හේත්රත් යන මහත්වරු උකුස්සන් දෙදෙනාට ප්‍රතිකාර සිදුකරති.

-ප්‍රියාණි මංගලිකා-