සිම්බාබ්වේ සමග හරාරේ හිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය ලබාදීමේ ප‍්‍රධාන සාධකයක් වු ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. තමාගේ සාර්ථකත්වයට හේතුව ශාරීරික යෝග්‍යතාව බව මැතිව්ස් තරගයෙන් අනතුරුව පැවසීය.


ටෙස්ට් ලකුණු දස දහසක් ලබා ගැනීමේ ඉලක්කයක් ඇතිව ක‍්‍රීඩා කරන මැතිව්ස් ඒ සියල්ලටම පෙර ශාරීරික සෞඛ්‍ය වැදගත් සාධකයක් බව පවසයි. ‘‘පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සර්වබළධාරීතුමාට මට ආශීර්වාද කිරීම ගැන.’’ යැයි පැවසු මැතිව්ස් වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

‘‘මම පසුගිය මාස පහක කාලය තුළ මගේ ශාරීරික සෞඛ්‍ය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ නිසා මාව දැන් පොඞ්ඩක් කෙට්ටු වෙලත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මට ගොඩක් සතුටුයි. මම ටෙස්ට් ශතකයක් ලබාගෙන ටික කාලයක් ගත වුණා. නමුත් ඊට පස්සෙ මට තරග 4-5 ක් මග හැරුණා.’’

සිම්බාබ්වේ පන්දු යවන්නන්ගෙන් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට නොහැකි වූ බවත් ඔවුන්ගේ පන්දු රකින්නන්ද ලෙහෙසියෙන් ලකුණු ලබා නොදුන් බවත් මැතිව්ස් පවසයි.

‘‘හොඳ ආරම්භයක් ලබා ගන්න මට අවශ්‍ය වුණා. ඔවුන්ගේ පන්දු රකින්නන් කුඩයක් වගේ යොදවලා තිබ්බා. අපිට තිබුණා ඉලක්කයක්. එතනදි දෙවැනි වර පන්දුවට පහර නොදී ඉන්න පළමු ඉනිමේදී ලකුණු 160 ක වාසියක් ලබා ගන්න තමයි අපි උත්සහ කළේ. මොකද දෙවැනි ඉනිමේදි පන්දුව ඉපිලීම සහ දඟ කැවීම තිබ්බා. ඒ නිසා පළමුව ඒ ඉලක්කයට යාම තමයි උත්සහ කළේ.’’

මිනිත්තු 600 ක් පුරා කඩුල්ලේ රැු`දී සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් ඉවසිලිවන්තව සිය ද්විත්ව ශතකය වාර්තා කිරීමේදි පන්දු 468 කට මුහුණ දී හයේ පහර තුනක් සහ හතරේ පහර 16 ක් එල්ල කිරීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් සිය 10 වැනි ටෙස්ට් ශතක ද්විත්ව ශතකයක් බවට පත් කිරීමත් සමග වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ද්විත්ව ශතකයක් ලද එකම ක‍්‍රීඩකයා බවටද ඔහු පත්විය. සිම්බාබ්වේට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ ශ‍්‍රී ලංකාවේ තුන් වැනි පිතිකරුවා බවටද මැතිව්ස් පත්විය. මැතිව්ස්ට පෙර සිම්බාබ්වේට එරෙහිව මාවන් අතපත්තු ද්විත්ව ශතක තුනක් (249, 223, 216* ලබා ඇති අතර කුමාර සංගක්කාර එක් ද්විත්ව ශතකයක් (270* ලබා තිබේ. මැතිව්ස් නොදැවී ලබාගත් එම ද්විත්ව ශතකය හේතුවෙන් ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 48.90 දක්වා ඉහළ ගියේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයෙන් පසුව මෙසේ පැවසීය. ‘‘අපේ පිතිකරුවන් කිහිප දෙනකු අර්ධ ශතක ලබා ගත්තත් ලොකු ඉනිමක් ක‍්‍රීඩා කළ එකම තැනැත්තා ඇන්ජි විතරයි. ඒ වගේ අනෙක් පිතිකරුවනුත් ලොකු ඉනිමක් ක‍්‍රීඩා කළ යුතුයි.’’