පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) හෝ හෙට (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව දන්වා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්
හිටපු ජනාධිපතිවරයා හෝ හිටපු අගමැතිවරයා හෝ මෙතෙක් ප්‍රකාශ ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පමණක් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස දින ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.‍

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවිමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (06) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්
රිමාන්ඩ් බාරයේ පසුවන අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාරය මගින් ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මතාගේ උපදෙස් මත නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙනී සිටියහ. මෙම සිද්ධිය පිළිබඳව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ද, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවත්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත යුතුව ඇති බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගත් බවත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අගරදගුරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයකු නීතිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති බවද, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අගරදගුරුතුමන් ලබාදුන් දිර්ඝ ප්‍රකාශය මේ සඳහා ආදේශ කර ගැනීමට කටයුතු කරන ලෙසට එහිදී ඉල්ලා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සඳහා එම ජනාධිපති කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරුවරයාගෙන් අවසරය ලබා ගත යුතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුධ, ගුවන් සහ නාවික බුද්ධි අංශවල අධ්‍යක්ෂවරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසීය. ඉදිරිපත්ටූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර
අධිකරණය වෙත වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කරමින් සැකකරුවන්  දෙදෙනා ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. මෙම සැකකරුවන් දෙදෙනාට මහේස්ත්‍රාත් අධිකරණය  මගින් ලබාදී තිබූ ඇප නියෝගය නිෂ්ප්‍රභ කරමින් කොළඹ  මහාධිකරණය දුන් නියෝගයට අනුව සැකකරුවන් දෙදෙනා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ පසුගිය  ඔක්තෝබර් 9 වැනිදාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් ජුලි මස 02 වැනිදාය. පසුව සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ 05ක ශරිර ඇපයක් මත මුදා හැරිමට මහේෂේත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් ජුලි මස 09 වැනිදාය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 250 කගේ ජීවිත අහිමිවි විශාල දේපළ හානියක් සිදුවීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට ආධාර අනුබල ලබාදී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 වගන්ති ප්‍රකාර මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා නගා තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විශේෂ පරික්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සැකකරුවන් ලෙසට නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනා මෙම සිද්ධියේ සැකකරුවන් ලෙසට නම් කරනු ලබන බවට මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.