රටේ වාසය කරන සියලු ජාතීන්වල, ජනතාවගේ සහ සියලූ ආගම්වල නිදහස තහවුරු කරන්නේ සිංහල බෞද්ධ ජනතාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.  පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ස්වාමීන් වහන්සේලා පන්දහසක් නමකට පාලි ත්‍රිපිටකය, සම්පුර්ණ අට්ඨ කතා, පාලි සිංහල
ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කළ ටැබ් පරිගණක බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මෙම ටැබ් පරිගණක බෙදාදීමේ අවස්ථාව ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක ගෞරවනීය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් සිදුවූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,


"නවීන තාක්‍ෂණයේ ආදීනව ගැන අපි ඕන තරම්  කතා අහලා තියෙනවා. විශේෂයෙන්ම පරිගණක තාක්‍ෂණය හරහා බාල පරම්පරාව නොමග යවන සුලු බොහෝ දේවල් ඔවුන් වෙතට

යන ආකාරය ගැන කතාබහ ඇතිවෙලා තියෙනවා. නමුත් නවීන තාක්‍ෂණය කොයි තරම් ප්‍රයෝජනයිද කියන කාරණය අපට වැටහන්නෙ මේ වගේ අවස්ථාවල.

පාලි ත්‍රිපිටකය සහ අරිෂ්ඨ කතා අච්චු ගහලා පොත් හැටියට මේ ප්‍රමාණයෙන් බෙදාහරින එක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික නෑ, නමුත් නවීන තාක්‍ෂණය ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් සෑම භික්ෂුන්වහන්සේ නමක් සතුවම සම්පුර්ණ ත්‍රිපිටක හා සම්පූර්ණ අට්ඨ කතා තියන බවට වග බලාගන්න. බුදුදහම බිහිවුණේ ලංකාවේ නෙවෙයි. නමුත් නිමල ථේරවාද බුදුදහම රැකුණේ ලංකාවෙයි. පාලි ත්‍රිපිටකය කියන්නේ ලෝක බුද්ධිමය උරුමයේ වැදගත් කොටසක්. අපට තාක්‍ෂණය පාවිච්චි කරලා සම්පුර්ණ පාලි ත්‍රිපිටකය සහ අට්ඨ කතා මේ විදියට බෙදලා දෙන්න පුළුවන් වෙන එක නවීන තාක්‍ෂණයේ ආශ්චාර්යක්. මේ තාක්‍ෂණය අපි බුදුදහමේ උන්නතිය සඳහා පාවිච්චි කරන්න ඕන.

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු මහා ඝංඝරත්නය බුදුදහම විකෘති වීමට ඉඩ නොදීම සඳහා ගෙන යන මේ වැඩපිළිවෙළ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම ඇගයීමට ලක්වෙන්න ඕන. මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ මේ සමරු කලාපයේ පෙන්නලා දීලා තියෙනවා සම්බුද්ධ ශාසනය අභියෝගයට ලක් වූ අවස්ථාවල රාජ්‍ය පාලකයන්ටත් ගිහි ප්‍රජාවටත් ඒ අභියෝගය ජය ගන්න මහා සංඝරත්නය නායකත්වය දීපු ආකාරය ගැන. මේ මෑතකත් ඒ වගේ අවස්ථාවක් අපි පහු කෙරුවා. උන්වහන්සේ ඒ ගැනත් යම් සඳහනක් කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල

දිහා බැලුවම පේනවා බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධ මෙහෙයුම් කොයිතරම් බලගතු විදියට ක්‍රියාත්මක වුණාද කියලා. රටට එරෙහි බලවේග ඒ දරපු උත්සාහය සාර්ථක වුණා නම්, සිංහල ජාතියට අත්වන ඉරණම කුමක්ද කියන එක ගැන අපි සියලු දෙනාම හොදින් කල්පනා කරලා බලන්න ඕන.

මේ අභියෝගවලින් අපි තවත් ශක්තිමත් වෙන්න ඕන. මහාවංශයේ සදහන් වන විදියට වලගම්බා රජ්ජුරුවන්ගේ කාලෙ පාලි ත්‍රිපිටකය ලේඛනගත කෙරුවෙත් නිර්මල ථේරවාද බුදුදහමට එල්ල වුණු අභියෝගයක් නිසා. එදා ඒවා සිදුවුණු ලේඛනගත කිරිම නිසා තමයි අද අපි මහ ලෝක උරුමයක ආරක්‍ෂකයන් බවට පත් වෙලා ඉන්නෙ. ඉතින් අභියෝග කියන්නේ නරක දෙයක්මත් නොවෙයි. ඒකෙන් තමයි ජාතියක් පන්නරය ලබන්නේ. අපි පහුගිය අවුරුදු පහේදී අත්දැකපු දේවල් නිසා, අපේ ජාතික හැගීම් තවත් ශක්තිමත් වුණා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියපු ඒ යුගය පසුගිය නොවැම්බර් 16 වැනිදා අවසන් වුණා.

අතිපූජ්‍ය මහ සංඝරත්නය එහිදී මුලිකත්වය ගත්ත ආකාරය ගැන මම මෙතන අලුතින් කියන්න ඕන නැහැ. මහා සංඝරන්නයේ ඓතිහාසික කාර්යභාරය  ඉහළින්ම සිදුවුණු බව විතරක් මම කියන්නම්. බෞද්ධ ශාසනය රැකගැනීම සිංහල ජාතිය රැකගැනීම, රටේ ඒකීයභාවය රැකගැනීම කියන මේ සියල්ල ඒකට බැඳුණු දේවල්. අපේ ඉතිහාසය තුළ ඉතාමත්ම පැහැදිළිව පේන්න තියෙන කාරණය තමයි සිංහල බෞද්ධයා රැකුනොත් තමයි සෙසු ආගම්වලටත් මේ රටේ ආගමික නිදහස රැකෙන්නේ කියන එක. මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නේ සිංහල බෞද්ධ ජනතාවයි.

බෞද්ධ ශාසනය මේ රටතුළ ශක්තිමත් කරන්න අතිවිශාල දැනුම් සම්භාරයක් අඩංගු ටැබ් පරිගණක බෙදාදීම සමස්ත ජාතියම නගාසිටුවීමේ මෙහෙවරක් ලෙස සලකනවා. මෙම මහා ශාසනික මෙහෙවර ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

-ෂවින්ද්‍යා එරන්දි-