රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින්
ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත්  නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම

නිසා සමාජය විකෘති ස්වාභාවයක් කරා ගමන් කිරිම වර්තමානයේදී දක්නට ඇති බවද කථානායකවරයා පැවසීය.

කථානායකවරයා මෙම අදහස් පළ කළේ  නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට අක්ථපත්‍ර ප්‍රදානය කිරිම නිමිත්තෙන් පදවි ශ්‍රීපුර, අලිවංගුව බෝධිරුක්ඛාරාම රාජ මහා විහාරස්ථානයේදී පැවති පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගී වීමෙනි.

ජංගම දුරකථනය මෙන්ම නුතන සන්නිවේදන මාධ්‍ය බොහෝමයක් විසින් පවුල් සබඳතා , දෙමාපිය - දූදරු සබඳතා බිඳ දමා ඇති බවත් ජංගම දුරකථනය බිහි කළ රටවලට වඩා එම තාක්ෂණය ආනයනය කර භාවිතයට ගත් අප වැනි රටවල් එතුළින් අධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කර ඇති බවද කරු ජයසුරිය මහතා සඳහන් කළේය.

දුරකථන සංවාද ඇතුළු සමාජගත නොවිය යුතු පෞද්ගලික තොරතුරු රසමසවුළු සේ තලු මරමින් සමාජගත කළ හැකි නමුත් කලක් යන විට මෙම සිදුවීම් දෙස ආපසු හැරී බලන කළ අප යුගයේ සිදු වු සදාචාර පරිහානිය ගැන විශාල පසුතැවීමක් ඇති වනු ඇතැ’යි ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් හෙළිදරව් වී ඇති නීති විරෝධී යමක් වේ නම් ඊට ‍එරෙහිව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාවය බැහැර කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
- රුවන් කාශ්‍යප