පසුගියදා එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා ප්‍රධානියෙකු වන කසෙම් සොලෙයිමනීට සහාය දක්වන තොරතුරු ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් විසින්  ඉවත් කරමින් සිටින බව සීඑන්එන් වාර්තා කරයි.
කෝඩා ස්ටෝරි පුවත් සේවාව වාර්තා කරන්නේ ඉරානයේ මාධ්‍යවේදීන්, බලපෑම් කරන්නන් සහ මානව
හිමිකම් ක්‍රියාකාරීන් මෙම තොරතුරු වැඩි වශයෙන් හුවමාරු කර ඇති බවත් සියල්ලම ඉවත් කරමින් යද්දී නැවත පළ කළොත් එම ගිණුම් අහිමි කරලීමට ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් කටයුතු කර ඇති බවයි.

ඉන්ස්ටග්‍රෑම් යනු ඉරානයේ අවහිර නොකරන ලද බටහිර සමාජ මාධ්‍ය අඩවි කිහිපයෙන් එකකි.
එනිසා බොහෝ ඉරාන වැසියන් සොලෙයිමානිගේ මරණයෙන් පසු ඔහු ගැන එහි පළ කළහ. කෙසේ වෙතත් ඉරානයේ ෆේස්බුක් කලෙක සිට අවහිර කර ඇත (ට්විටර්ද ඉරානයේ අවහිරය), නමුත් සමහර අය ඒවාට  VPN හරහා ප්‍රවේශ වේ.

ඉන්ස්ටග්රෑම් හි හිමිකාරීත්වය දරන ෆේස්බුක්, පෝස්ට් සහ ගිණුම් ඉවත් කිරීමෙන් ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධකවලට අනුකූල වන බව පවසයි. "එක්සත් ජනපද රජය විසින් IRGC නම් කිරීම සහ එහි නායකත්වය ඇතුළු එක්සත් ජනපද සම්බාධක නීති යටතේ අපි ක්‍රියාත්මක වෙමු" යනුවෙන් ෆේස්බුක් ප්‍රකාශකයෙක් සීඑන්එන් වෙත ලබා දුන් නිවේදනයක දැක්වේ. ඔවුන්ගේ ප්‍රොෆයිල් වැරදි ලෙස ඉවත් කර ඇති බවක් හැඟෙන පුද්ගලයින්ට අභියාචනා ක්‍රියාවලිය හරහා යා හැකි බව ද ප්‍රකාශකයා පැවසීය.

මේ අතර, ඉරාන රජයේ ප්‍රකාශක අලි රබී මෙම පියවර “ප්‍රජාතන්ත්‍ර විරෝධී” යැයි කියා සිටියේය. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ප්‍රජාතන්ත්‍ර විරෝධී හා නිර්ලජ්ජිත මෙම ක්‍රියාව" හෙළා දකින බවයි.
 ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ ඉන්ස්ටග්‍රෑම් සමාගමට එරෙහිව රජය රටපුරා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇති බවත් ඉවත් කරන ලද ප්‍රොෆයිල් ගැන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඉරාන වැසියන්ට යොමුවක් නිර්මාණය කර ඇති බවයි. කෝඩා ස්ටෝරි වාර්තා කළ පරිදි ඉරානය 2019 නොවැම්බර් මාසයේදී සතියක් අන්තර්ජාලය වසා දමන්නටද කටයුතු කර තිබුණි.