අවුරුදු හයකට ඉහතදී මිය ගොස් ඇතැයි කියන කාන්තාවකගේ බවට සැක ශරීරයේ අස්ථි කොටස් වැසිකිළි වළකින් සොයා ගැනීමෙන් පසු තෙදණිය පොලිස් වසමේ රන්දෙණිය වසමේ පදිංචි සැකකාර 61 හැවිරිදි දෙදරු පියෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිමට තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා නියෝග කළේය.

අබිරහස් ලෙස ඝාතනයට ලක්ව මිය ගියේ යැයි සැක කරන දෙදරු මවකගේ ශරීරයේ අස්ථි කොටස් වැසිකිළි වළකින් හමුවූ තෙල්දෙණිය පොලිස් වසමේ රන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම නිවස අවට ප්‍රදේශයට අධිකරණ නියෝග මත තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවා ඇත.

මීට වසර හයකට පෙර රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ.එම්. අරුණි සිල්වා නමැති පනස්පස් හැවිරිදි දෙදරු මවක් අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇගේ සිරුරේ අස්ථි කොටස් එම නිවෙසේ වැසිකිළි වළක් ගොඩ දැමීමේදී ගලි බවුසර් සේවක පිරිසට පසුගිය

25 වැනි දින හමුවී තිබිණි.

මෙදින එම වැසිකිළි වළෙන් හමුවූ අස්ථි කොටස් ඇගේ සැමියා විසින් රහසේ පොහොර උරයක බහා වෑගල වික්ටෝරියා ජලාශ රක්‍ෂිතයට අංක 64/3338 දරන කාර් රථයන් ගෙන ගොස් දමා තිබියදී තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඉකුත්දා සොයාගෙන තිබිණි.

සැක කටයුතු කාර් රථය ද තෙල්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැක කටයුතු මේ අබිරහස් මරණය පිළබඳව එම දෙදරු මවගේ සැමියා වූ විශ්‍රාමික රෝහල් රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා එම සැකකරු ලබන මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙම නිවසේ වැසිකිළි වළන් ගොඩ ගත් අස්ථි කොටස්වලට අමතරව තවත් සැක කටයුතු දෑ තිබේදැයි පරීක්ෂණයක් පැවැත්වෙන තුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

තෙල්දෙණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සී.ඩබිලීව්.සී. රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් තෙල්දණිය මූලස්ථාන පොලිස්  පරික්ෂක එම්.ඩබ්ලිව්.එස්. පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් බණ්ඩාර මහතා සමඟ පොලිස් කොස්තාපල් ඒ.එස්.කේ. වික්‍රමසිංහ (62869) මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තෙල්දෙණිය - කේ. නිශ්ශංක