රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජු දායක කරගන්නා පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බවට ජනාධිපති ගෝෂ්ඨානය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත්තේ දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග ඊයේ (19දා) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.



සුළු පිරිසක් අතින් සිදුවන වැරදි හේතුවෙන් රාජ්‍ය සේවය දෝෂාරෝපණයට ලක්ව ඇතැයි එහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, ඒ අනුව එදිනෙදා සිදුවන අතපසු වීම් සමස්ත රාජ්‍ය සේවය අවඥාවට ලක්කර ඇති බවද පවසා තිබේ.

ජනතාව සිය දහදිය, මහන්සියෙන් උපයන මුදලින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන බවත්, ඒ අනුව කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් තුළින් තමන්ට වැටුප් ගෙවන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම රාජ්‍ය සේවකයාද වගකීම වන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, එසේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රටේ ආර්ථිකයද දියුණු කළ යුතු වත බවත්, ඒ සඳහා රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කර ඇත.

හෙතෙම තවදුරටත් පෙන්වා දී ඇත්තේ ලොව සෙසු රවල රැකියා අවස්ථාවලට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතු වන බවයි.

ඒ අනුව දේශීය සහ විදේශීය රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් නව තාක්ෂණය පදනම් කරගත් උපායමාර්ගයක් ලෙස එය සිදු කළ යුතු බවට පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, එහිදී තරුණ තරුණියන් රැකියා සොයා යනවා වෙනුවට රැකියා අවස්ථා තරුණ තරුණියන් සොයා එන අධ්‍යාපන රටාවක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවද ප්‍රකාශ කර ඇත.

රජය විසින් මේ වනවිට රාජ්‍ය, අර්ධ රාජ්‍යය දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස් කොට ඇති අතර, එම පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවාගැනීම කඩිනමින් කිරීමට නියතය. ඒ අනුව අදාළ රැකියාලාභීන් වෙත නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදීමටද නියමිත වේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටින්නේ නුපුහුණු ශ්‍රමිකයන් රටට විදේශ විනිමය උපයාදෙන ප්‍රධාන සාධකය වී ඇති බවයි. එහිදී සෙසු රටවලට සාපේක්ෂව ශක්තිමත් පදනමක් සහිත කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී නොමැති බැවිත් මෙරට බුද්ධිමත් තාරුණය නිසි ලෙස කළමනාකරණය කරමින් ආර්ථික වර්ධනයට දායක කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව ඇතැයි ස්නාධිපතිවරයා පෙන්වා දී ඇති බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරත් සඳහන් කරයි.

නිදර්ශණී වික්‍රමසිංහ