ඇමරිකාවේ ප්‍රකට මාධ්‍ය ජාලාවක් වන ෆොක්ස් නිවුස්හි හිටපු වාර්තාකාරිනියක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කරන ලද පැමිණිල්ලක් නිසා එරට මාධ්‍ය ඇවිළී ගොස් තිබේ.
කෝට්නි ෆ්‍රියෙල් නමැති ඇය කියා සිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමට පෙර වරක් ඇයට දුරකථන ඇමතුමක් ලබා දී ඇයට ට්‍රම්ප් ටවර් කාර්යාලයට ආරාධනා කරන ලද බවත් එහිදී අපි දෙන්නාට “සිප ගැනීමට” හැකි බව ඔහු කියා සිටි බවත්ය.


ට්‍රම්ප්ගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහනක් වන ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් හි ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කළ කෝට්නි ෆ්‍රියෙල් ග්‍රන්ථ කර්තෘවරියකද වන අතර ඇය නිකුත්කරන්නට යන අලුත්ම ග්‍රන්ථය වන 'අද රෑ 10: කිකින් බූස් සහ බ්‍රේකින් නිවුස් ' (Tonight At 10: Kicking Booze and Breaking News) පොත හරහා මෙම කරුණු අනාවරණය කර ඇත.

ට්‍රම්ප් සිය කාර්යාලයීය දුරකථන මාර්ගයට කිහිප වතාවක්ම ඇමතුම් ලබා දී ඇති බවත් ඒ දිනවල ට්‍රම්ප්ගේ සමාගමක් වාර්ෂිකව සංවිධානය කළ ප්‍රකට තරගාවලියක් වන විශ්ව රූ රැජිණ තරඟාවලියේ විනිශ්චයකාරවරියක වීමට ඇයට යෝජනා කර ඇයගේ කැමැත්ත පවා ඔහු ලබාගත් බවයි. මේ වනවිට එම තරගාවලිය ට්‍රම්ප්ගේ සමාගම අතැර ඇති අතර වෙනත් සමාගමකට විකුණා දමා ඇත.

එක් ඇමතුමකදී ට්‍රම්ප් තරග විනිසුරුවරියක වීම සම්බන්ධයෙන් තමාගෙන් දිගටම ප්‍රශ්න කළ බවත්  “එහෙනම්, අපි හමුවෙලා කතා කරමු කවුරුත් නැති තැනක...ඔබ යම් වේලාවක මගේ කාර්යාලයට පැමිණිය යුතුයි, ඒ වෙලාවේ අපට සිපගන්නත් පුළුවන්, ’ ට්‍රම්ප් කියූ බව ෆ්‍රියෙල් කියා සිටින්නීය.
එය අසා ඇය තැති ගත් බවත් ඇය ප්‍රතිචාර දැක්වූයේ, “අපි දෙදෙනාම විවාහකයිනෙ” කියා බවත් සඳහන් කරන කෝට්නි ෆ්‍රියෙල් ඇමතුම ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ බවද දන්වා ඇත.
කෝට්නි ෆ්‍රියෙල්  විවාහකයෙකු වන අතර දෙදරු මවකද වෙයි.