බත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.



පසුගිය කාලය තුළ එතරම් අවධානයට ලක් නොවු දියත උයන දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරි ආපන ශාලාවට මේ වන විට ජනතාවගේ  අවධානයට යොමු වෙමින් පවතී.

පසුගිය කාලය තුළ දියත උයන නිසි නඩත්තුවකට ලක්නොවීම නිසා මෙම දුම්රිය ස්ථානයේ ආපන ශාලාව ද වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවීය.

නමුත් නව ආණ්ඩුව යටතේ ජනතාවට නිදහසේ සිටිය හැකි මෙවැනි උද්‍යාන නිසි නඩත්තුවට ලක්වීම හා ජනතාවට නිදහසේ ගත කිරීම සඳහා නව අංග එක් කිරීම සම්බන්ධයෙන් ජනතාව ද සිය සතුට ප‍්‍රකාශ කරයි.

දියත උයන දුම්රිය ස්ථානයේ ආපන ශාලාවට පැමිණෙන ඔබට සාධාරණ මිලකට නැවුම් අත්දැකීමක් සමඟ ප‍්‍රනීත ආහාර වේලක රස විදීමට හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක වන වෝටර්ස් ඒජ් හෝටලයේ පාලනාධිකාරිය ප‍්‍රකාශ කරයි. දේශීය ආහාර පාන වලට අමතරව ඉන්දියානු, චීන ආහාර වර්ග ද මෙහිදී ලබා ගත හැක.

දියත දුම්රිය ස්ථානය දියවන්නාවේ එහා ඉවුරේ පිහිටා ඇත. දුම්රියක් දුම්රිය නැවතුම්පලක නවතා තිබෙන අන්දමට හදපු අවන්හලකි. සාමාන්‍යයෙන් දුම්රිය ස්ථානයක සිදු වන්නේ මගී ප‍්‍රවාහනය හා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමයි. එහෙත් මෙය භෝජනාගාරයක් පවත්වාගෙන යාමට සැලසුම් කළේ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.

අනෙකුත් දුම්රිය ස්ථානවල සේ සියලූ දෙනාම අසුන් ගැනීමට හැකි දුම්රිය වේදිකාව තුළ ආසන සකස්කර ඇත. වායු සමීකරණය තුළ ඉතා අලංකාර දුම්රිය මැදිරි 3ක් තිබෙන අතර එහි 120කට පමණ සුව පහසුව ආහාර පාන ගැනීමට ඉඩ සලසා දී ඇත. සම්පූර්ණයෙන් 250කට පමණ එකවර වාඩි වී ආහාර ගැනීමට අවස්ථාව සලසා දි ඇත.

දුම්රිය මැදිරි 04ක අවන්හල් ඉදිකර තිබෙන හෙයින් එමඟින් මහජනතාවට ආහාර පාන ලබා ගත හැක.

මෙම ස්ථානයට පැමිණෙන ලොකු, කුඩා, මහළු හා විදේශ ගත සංචාරකයින් ඇතුළු සියළුම දෙනාට පරිසරයේ සුන්දරත්වය සහ චමත්කාර දර්ශන බලමින් ආහාර ගැනීමට හැක. මෙහි තිබෙන සුන්දරත්වය නිසා සමහර අය තමන්ගේ මංගල දිනයේ උත්සවය දියත දුම්රිය ස්ථානයේ ගැනීමට ද සැලසුම් කරයි.

2010 වසරේ ඇති වූ උග‍්‍ර ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස දියවන්නා ඔයෙහි තිබූ රොන්මඩ ඉවත්කර පිළිසකර කර වැඩි ජල ධාරිතාවක් දරා ගත හැකි පරිදි සංවර්ධනය කරනු ලැබීය. නාගරික සුන්දරත්වය වැඩි දියුණු කරමින් ද නගරාශ‍්‍රිත වායු ගෝලීය ආර්ද්‍රතාවය වැඩි කරමින් ද නිර්මාණය වූ දියවන්නා ඔය ආශ‍්‍රිත පහත්බිම් ප‍්‍රදේශය නාගරික තෙත්බිම් උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරුණි.

ස්වයං රැකියාවක නියුක්තව තම නිෂ්පාදන වලට වෙළෙඳ පොළක් සොයමින් සිටි මෙරට විසිතුරු මල්, මල් ආශ‍්‍රිත නිෂ්පාදන, කෘෂි උපකරණ හා භෝග, නැවුම් එළවළු හා පළතුරු ආදී ක්ෂේත‍්‍රයන්හි ව්‍යවසායකයන් උදෙසා අලෙවි මධ්‍යස්ථානයක් බවට දියත උයන නිර්මාණය වී ඇත.

නිදහසේ තම වාහන නවතා තමනට අවැසි දෑ තෝරා බේරා මිලදී ගැනීමට අවස්ථාව මෙම පරිශ‍්‍රය තුළ දී පාරිභෝගිකයාට උදා වී ඇත. සතියේ සෑම සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලම පැවැත්වෙන මෙම අලෙවි ප‍්‍රදර්ශනය උදෙසා දිවයිනේ නන්දෙසින් අති විශාල ජනකායක් සහභාගී වෙති.

නිවසේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ඉහළ ගුණාත්මක වටිනාකමක් සහිත නැවුම් එළවළු, පළතුරු මිලදී ගත හැකිවාක් මෙන්ම තම ලස්සන ගෙදර සුන්දර උද්‍යානයක් කරවන විවිධ වර්ගයේ විසිතුුරු මල් වර්ග, පැල වර්ග හා තම ගෙවත්තේ උද්‍යානයේ වැඩකටයුතු කර ගැනීමට අවශ්‍ය උද්‍යාන උපකරණ ඉතා පහසු මිලට විශ්වාසයෙන් මිලදී ගැනිමේ හැකියාව පවතී. එසේම නෙක විසිතුරු මිරිදිය හා කරදිය මසුන් වර්ග රාශියක් නැරඹීමේ හා මිලදී ගැනීමේ හැකිියාව ද පාරිභෝගිකයාට මෙහිදී උදා වී ඇත.

තම පවුලේ සියළු සාමාජිකයන් සමඟ පැමිණ නිදහසේ විනෝද වෙමින් භාණ්ඩ මිලදී ගන්නා අතරම, විවිධ වර්ගයේ දේශීය හා විදේශීය ආහාර වර්ග වල රස විදීමට ද මෙහිදී අවස්ථාව සලසා ඇත. ආහාර පාන අලෙවිය සඳහා අලෙවි කුටි 12 ක් වෙන් කර ඇති අතර, මල් හා විවිධ අලෙවි කුටි සඳහා කුටි 164ක ප‍්‍රමාණයක්  වෙන්ව ඇත.

රථ වාහන නැවැත්විය හැකි රථගාලක් ද ඉදිව ඇති මෙම පරිශ‍්‍රය තුළ රථගාලේ සිට අලෙවි කුටි වෙත ජනතාව ප‍්‍රවාහනය කිරීම සඳහා විද්‍යුත් බැටරි මඟින් කි‍්‍රයාකරන පරිසර හිතකාමී ප‍්‍රවාහන සේවයක් ද කි‍්‍රයාත්මකව පවතී.

මේ නිසාම ජනතාව බඩුමුළු එල්ලා ගෙන එහා මෙහා ගමන් කිරීම අනවශය වන අතර, තමන් මිලදී ගත් භාණ්ඩ ඉතා පහසුවෙන් වාහනය වෙතට ගෙන යා හැකිය. ඉහළ ආරක්ෂක විධි විධාන හා මනා කළමණාකාරීත්වයකින් යුතුව ක‍්‍රියාත්මක වන මෙම අලෙවි සල්පිල මෙරට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත.

රුවන් කාශ්‍යප