පාස්කු ඉරුදින දෙහිවල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් වන විශ්ලේෂණ වාර්තාව මෙතෙක් අධිකරණයට නොලැබීම ගැන මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ පීඨාධිපතිවරයාට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සී. එච්. ජී. ලියනගේ ඊයේ (9 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.

මෙසේ වරෙන්තු නිකුත් කළේ මින් පෙර එම පීඨාධිපතිවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට කර තිබූ නොතිසි නොසලකා හැරීම සම්බන්ධයෙනි. දෙහිවල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයට යවා තිබෙන නඩු භාණ්ඩවල විශ්ලේෂණ වාර්තාවක් ලැබී නැති බව පැමිණිල්ල මෙහෙයවන ත්‍රස්ත විමර්ශන අංශයෙන් අධිකරණයට දන්වා සිටියේය. ඒ ගැන අවධානය යොමු කර සිටි මහෙස්ත්‍රාත්වරයා කඩිනමින් විශ්ලේෂණ වාර්තාව ලබාදෙන මෙන් මීට පෙර අවස්ථාවේදීද පීඨාධිපති දැනුවත් කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයට පත්කර සිටින ෆාතිමා සිෆානා ඕමාර් යන පළමුවැනි සැකකාරිය හා හුසෙනූර් මො​හොමඩ් කාලීද් සමීර් යන දෙවන සැකකරු බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය. ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අධිකරණය හමුවේ විශේෂයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පළමුවන සැකකාරියට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බවත් දෙවන සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් නැති බවත්ය. තවද මෙම පාස්කු ඉරුදින දෙහිවල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, ත්‍රස්ත විමර්ශන ඒකකයද, බස්නාහිර දකුණ භාර අපරාධ විමර්ශන කොට්ඨ‍ාසයද වෙන් වෙන් වශයෙන් විමර්ශන සිදුකළ අතර අත්අඩංගුවට ගෙන තිබූ 17 දෙනකු පොලිස් රැඳවුම් භාරයට පත්කර ඇත. ත්‍රස්ත විමර්ශන අංශයෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර ජනවාරි 21 වැනිදා තෙක් පැමිණිලි කැඳවීම මහෙස්ත්‍රාත්වරයා විසින් කල් තබන ලදී.

දර්ශාන් කනිල් - මොරටුව