බීජිං රජය ඉරිදා (26) නිවේදනය කළේ කොරෝනා වෛරස් මාරාන්තික රෝගය පැතිරීම නැවැත්වීමේ උත්සාහයේ කොටසක් ලෙස නගරයේ සමහර රෝහල් විසින් එච්.අයි.වී. ඒඩ්ස් පාලනය කිරීමට උපයෝගී
කරගන්නා ඖෂධයක් අත්හදා බලා ඇති බවයි.
මේ ප්‍රතිකාර සාර්ථකවී හෝ අසාර්ථකවී ඇති බවට බීජිං නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිල ප්‍රකාශයක් තවම පළවී නැති නමුත් සමාජමාධ්‍ය තුළ පැතිරෙන ප්‍රවෘත්ති අනුව මෙම අත්හදාබැලීම Lopinavir/Ritonavir ඖෂධය බව දන්වා ඇත. මේවා භාවිතය සාර්ථකවී ඇතැයිද
ඒවා ලබාදුන් අය සුවයට පත්වෙමින් සිටින බවද වාර්තා කර තිබේ.
තහවුරු කරන ලද කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නම් කරන ලද බීජිං රෝහල් තුනක් වන බීජිං ඩිටන් රෝහල, බීජිං යුවාන් රෝහල සහ පීඑල්ඒ මහ රෝහලේ අංක 5 වෛද්‍ය මධ්‍යස්ථානය - ප්‍රතිකාර සඳහා මෙම ප්‍රතිකාරය භාවිතා කිරීම ආරම්භ කර ඇති බව රජයේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
2002 සහ 2003 දී චීනය පුරා පැතිර ගිය සාර්ස් වෛරස් වසංගතය පාලනය කිරීමටද මෙම ඖෂධ ලබාදී සාර්ථක ප්‍රතිඵල උදාකරගත් බව දක්වා තිබේ.
 ප්‍රති-වයිරස ලෙස ක්‍රියාකරන මෙම ඖෂධ මගින්  නිරෝගී සෛල සමඟ රෝගී සෛල බන්ධනය කිරීමට ඇති හැකියාව අවහිර කරන අතර රෝගය පාලනය වන බව දැක්වේ.
“බලපෑමට ලක් වූ රෝගීන් නියමිත වේලාවට නිරෝධායනය කරනු ලැබුවහොත්, අවසාන අදියරේදී රෝගීන්ගේ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටෙනු ඇති“ බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.