විනිසුරුවන්ගේ කාර්යයන්ට දුරකථන ඔස්සේ බලපෑම් කළැයි චෝදනා යටතේ සීසීඩිය මගින් ඊයේ සවස අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අද (15) සවස නියෝග කළේය.

මන්ත්‍රීවරයාගේ  හඩ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසද
මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මහතාගේ නිවසේදී ඊයේ (14) පස්වරු 6.20ට පමණ ඔහු අත්අඩංගුවට
ගැනුණේ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්
වසන්ත කුමාර මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුවය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ සුවිශේෂි
තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි.

රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා
වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා
අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස
මැදිහත්වීමේ චෝදනා යටතේය.
රන්ජන් රාමනායක පද්මිණී රණවක, ගිහාන් පිලිපිටිය යන විනිසුරුවන් හා ලලිත් නමැති තෝල්ක තනතුර දරන්නෙකු සමග සුහද කතාබහේ යෙදෙන හඩ පට 5 ක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනුනේ ඒවා පදනම් කරගෙනයි.