ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙත මේ දිනවල ඇදහැල‍ෙමින් පවතින අධික වර්ෂාව පෙර නොවූ විරූ අවස්ථාවක් බව එරට කාලගුණික විද්‍යා, දේශගුණික විද්‍යා සහ භූ විද්‍යා බලධාරීන් පවසයි. ඔවුන් පවසන ආකාරයට මේ වනවිට මිලීමීටර් 377කට ආසන්න
වර්ෂාවක් ජකර්තා
නුවර වෙත ලැබී ඇත, මෙය වසර 24කට පසුව ඇති වුණු දරුණු තත්ත්වයක් බව ඔවුන් සඳහන් කරයි. අවසන් වරට ජකාර්තා නුවරට වැඩි වර්ෂාවක් ලැබී ඇත්තේ 1996 වසරේදීය. මෙම වර්ෂාව ඉදිරි සතිඅන්තයේදීද එලෙසින්ම පැවතීමේ අවදානමක්ද පවතී. දැනටමත් ජාවා දූපත් ඉහළ අහසේ වැහි බර වලාකුළු රැසකින්ම පවතින බවද බලධාරින් සඳහන් කර සිටියි. මේ අතර, අදාළ වර්ෂාව නිසා ඇති වුණු ගංවතුර තත්ත්වයද හේතුවෙන් මේ දක්වා ජකර්තා
අගනුවර පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් 62,000කට ආසන්න පිරීසක් මෙහිදී අවතැන් සිටිති. ගංවතුර පාලන යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම ජලගැලීම් නිසා සිදුවුණු හානිය ඉහළ යාමට හේතුව බව එරට ජනපති ජෝකෝ විඩෝඩෝ චෝදනා කර සිටියි.