ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට එක්වීමට වුවමනා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහමැතිවරණයේදී තනිව තරග කර පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සහාය පළකළ යුතු බව රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව සන්ධානගත වී සන්ධානය තුළ ලොකූ කෑල්ල ලබාගැනීමට නම් බලාපොරොත්තු නොවන ලෙසයි ඒ මහතා සඳහන් කළේ.

“දැන් ඊයෙ පෙරේදා කතා කරනවා තුනෙන් දෙකක් ගන්න සහයෝගය දෙනවා කියලා. බොහොම හොඳයි. මම කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරලා පස්සෙ එකතුවෙලා තුනෙන් දෙක අරගෙන දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට.

එහෙම නැතුව මේකෙ ඇවිල්ලා ලොකු කෑල්ල නම් ඉල්ලන්න බලාගෙන ඉන්න එපා ! ලොකු කෑල්ල නම් ඉල්ලන්න බලාගෙන ඉන්න එපා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරොත් ආසන හතරකට වැඩිය ගන්නෙ නෑ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (25) නොච්චියාගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.