පාසල් නිල ඇඳුම්වලට අවශ්‍ය සම්පූර්ණ රෙදි ලංකාවට ගෙන්වා තිබෙන බවත්, මේ නිසා කඩිනමින් නිල ඇඳුම් රෙදි වවුචරය නිකුත් කරන ලෙස අද (02දා) දින අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් හා ලේකම්වරයාගෙන් ලිඛිතව
ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

වවුචරයට අදාළව රෙදි ලබාදීමට රෙදි තොග පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසය වනවිට ලංකාවට ගෙන්වා තිබෙන බවත්,
එම රෙදි තොග මේ වනවිට ලංකාව පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් මිලදීගෙන තම ව්‍යාපාරික ස්ථානවල තැන්පත් කරගෙන සිටින බවත් එම සංගමයේ ජාතික සංවිධායක නන්ද නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.

බොහෝ ව්‍යාපාරිකයන් රෙදි තොග ලබාගෙන තිබෙන්නේ බැංකු ණය හෝ වෙනත් ණය යෝජනා ක්‍රම මගින් බවත්, එහෙත් එම සියලු රෙදි තොග තවමත් ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල තිබෙන බවත් හෙතෙම පවසා සිටියේ.

මේ නිසා නිල ඇඳුම් රෙදි ලබාදීමට අදාළ වවුචරය කඩිනමින් පාසල් දරුවන්ට ලබාදෙන වැඩ පිළිවෙළක්  සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් හා අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවද ජාතික සංවිධායකවරයා සදහන් කළේය.

එසේම ලබන වසරේදී නිල ඇඳුම් ලබාදීමට යාම තුළින් පාසල් දරුවන්ට අසාධාරණයක් වනවා සේම ව්‍යාපාරිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත්, ජනවාරි මාසයේ සිට නිල ඇඳුම් නිකුත් කිරීම සිදුකළහොත් ඒ සඳහා මුදල් ලැබෙන්නේ පෙබරවාරි මාසයට ආසන්නව බවත් ඒ මහතා පැවසීය.

කඩිනමින් නිල ඇඳුම් බරදි ලබාදීම හරහා ගැටලු දෙකටම විසඳුම් ලැබෙන බවද නන්ද නිරුක්‍ෂ කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ