රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජීත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා බලපොරයක් නිර්මාණය වී ඇතැයි වාර්තතා වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ රංජිත් ද සොයිසා මහතා
ළඟට වැඩිම මනාප ලබාගත් වරුණ ලියනගේ මහතා මේ වන විට එක්සත් ජාතික පෙරමුණට එක්වී සිටින හෙයින් මේ තත්ත්වය මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. වරුණ ලියනගේ මහතා එක්සත් ජාතික පෙරමුණට එක්ව සිටින හෙයින් ඔහුට එම මන්ත්‍රී ධුරය ලබා නොදී ඔහුට පසුව වැඩිම මනාප ලබාගත්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සනී රෝහණ කොඩිතුවක්කු මහතාට මන්ත්‍රී ධුරය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ගේ අවධානය යොමු වී ඇතැයි පැවසේ. සනී රෝහණ කොඩිතුවක්කු මහතා ද පුරප්පාඩු මන්ත්‍රී ධුරය තමාට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවට පක්ෂයේ ඉහළ නායකයින්ට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් වරුණ ලියනගේ මහතා ප්‍රකාශ කරන්නේ තමා ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයාට සහය පළ කළද ඉකුත් මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිසා එම මන්ත්‍රී ධුරයට නියම සුදුස්සා තමා බවය. මේ පිළිබදව  කළ විමසුමකදී මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට මිළඟ සුදුස්සා නම් කර එවන්නැයි කොමිසම එක්සත්  ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාට නිල වශයෙන් දැනුම් දෙන බවය. 2015 මහ මැතිවරණයේදී රත්නපුරය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 6 ක් හිමි වූ අතර රංජිත් ද සොයිසා මහතා මනාප ඡන්ද 63,071 ක් ලබාගනිමින් හයවැනි ස්ථානයට පත්විය.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද වන වරුණ ලියනගේ මහතා එම මැතිවරණයේදි මනාප ඡන්ද 49,850 ක්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සනි රෝහණ කොඩිතුවක්කු මහතා මනාප ඡන්ද 43,153 ක් ලබාගෙන තිබිණ. 2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය වූ අවස්ථාවේ වරුණ ලියනගේ මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ අතර පසුගිය ජනාධිපතිවරණයේදිත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළේය.

-රංජන් කස්තුරි-