"මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ සමීක්ෂණ හතරක් සිදුකර තිබුණා. සමික්ෂණ තුනකදීම අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ පිටුපසිනුයි. ඉදිරියෙන් සිටියේ  ගෝඨාභය රාජපක්ෂ මහතායි.
හතරවැනි සමීක්ෂණය මා දැක්කා.
එහිද විශාල පරතරයක් තිබූ නිසා විශේෂ අවධානය යොමුකරන ලෙස වජිර අබේවර්ධන මහතාට කිව්වා" යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල උළුවිටිකේ වජිර අබේවර්ධන මහතාගේ නිවසේ පැවැති එක්සත් ජාතික පක්ෂ ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදී පැවැසීය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ පන්සල් සැදිමට මුදල් දුන්නත් රක්ෂිතයක් ආරම්භ කළත් ත්‍රිපිටකය ජාතික වස්තුන් කළත් පළමු වරට සිංහල බෞද්ධ ඡන්ද පදනම් අඩුවි තිබෙන බවය.

ඒ නිසා ජනවාරි පළමුවැනිදා සිට සෑම විහාරස්ථානයකට ගොස් භික්ෂූන් වහන්සේලා හමුවේ සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට උපදෙස් දුන්නේය. සමික්ෂණය අනුව අඩුපාඩු නිවැරැදිකරගෙන  පාර්ලිමේන්තු මැතිවරණයේදී 113 ක බහුතර බලය ලබාගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

-ඩී.ජී.සුගතපාල-