සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයෙන් ලබාගත් ණය ආපසු අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති
සංවර්ධන අමාත්‍යය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහරුත්වන් විසින් සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මුදල් අමාත්‍යාංශය
පෙන්වා දෙන්නේ මෑතකදී ප්‍රකාශයට පත්කළ බදු ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් හිමිකර දෙන බවයි. ඒ අනුව මෙම සෑම බැංකු ආයතනයකින්ම සුළු හා මධ්‍ය පරීමාණ ව්‍යවසායකයන් ලබාගත් රු.මිලියන 300 නොඉක්මවන ණය මුදල් ආපසු අය කරගැනීම අත්හිටුවීම තුළ
සුළු හා මධ්‍ය පරීමාණ ව්‍යවසාය අංශය ප්‍රමුඛතා පදනමක් මත නගාසිටුවීම සඳහා එම බැංකු විසින්ද එවැනි ඉතිරීතිවලින් කොටසක් භාවිත කරනු ඇති බව රජයේ අපේක්‍ෂාව වී තිබිණි.

එමෙන්ම, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මෙම නියෝගය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් සඳහා විසඳුම් ඇතුළත් වන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව ඔවුන්ගේ වී
මෝල්වල ඇඹුරුම් මෙහෙයුම් යළි පණගන්වමින් වෙළඳ පොළ තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට සහ 2019/20 මහ කන්නයේදී ඔවුන්ගේ ධාරිතාවන් යළි කාර්යක්ෂම කිරීමට අවස්ථාව උදාවනු ඇති බවද රජය අපේක්ෂා කරයි.

මෙම සහනදායී ක්‍රියාමාර්ග සමග ණය හිමියන් සහ ණය ගැනුම්කරුවන්ට, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරීමාණ ව්‍යාපාර අංශයට ආධාර කිරීම සදහා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බදු ප්‍රතිසංස්කරණ හා බැඳුණු පුළුල් සහන පැකේජයක්ද ලබාදීමට රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

ෂමිල පෙරේරා