ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවියේදී ඉන්දියන් ඔයිල් සමාගම ලීටරයකට රුපියල් පහක් වැඩිපුර අය කරන නිසා ඉන්ධන අතවශ්‍යය භාණ්ඩයක් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17දා) අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

ඕක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් බනිජ තෙල් සංස්ථාවේ අලෙවි සැල් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය තිස් හතක මුදලකට බවත්, එහෙත් ඉන්දියන් ඔයිල් සමාගම එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය හතළිස් දෙකක මුදලකට බවත් එම සංවිධානයේ සභාපති
රංජිත් විතානගේ මහතා පැවසීය.

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කිරීමට කටයුතු කළහොත් එම භාණ්ඩ මිල ගණන් දෙකක් යටතේ අළෙවි කිරීමට නොහැකි වන බවත්, අදාළ කටයුත්ත සිදුකළ යුතු වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරි විෂයභාර අමාත්‍යවරයා විසින් බවත් ඒ මහතා පවසා සිටියේය.

එහෙත් විෂය භාර අමාත්‍යවරයා එම කටයුත්ත සිදුනොකරන නිසා ඉන්ධන අතවශ්‍යය භාණ්ඩයක් කරන ලෙසට විෂය භාර ඇමතිවරයාට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ නඩු පැවරූ බවද සභාපතිවරයා සඳහන් කළේය.

තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම අලෙවි කරන ඉන්ධන ගෙන්වන්නේ එකම නැවක බවත්, බෙදාහැරීම සිදුකරනෙත් එකම බවුසරයක් මගින් නිසා මිල ගණන් අසමාන විය නොහැකි බවද හෙතෙම අවධාරණය කර සිටියි.

- එච්.අයි. තුෂාර