ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුව ජනප්‍රිය හා ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමට ප්‍රකාශයට පත්කර තිබෙන ලකුණු ප්‍රමාණය ඉහළ අගයක්
ගත්ත ගෙන බවත්, එම නිසා සිසුන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බවත් ගුරු විදුහල්පති සාගම් සඳහන් කරයි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් විමට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය හැටහතරකට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුව තිබෙන බවත්, එය එක් විෂයකට ලකුණු අසූදෙක ඉක්මවා යාමක් බවත් එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

පාසලට ඇතුළත් වීමට ප්‍රකාශයට පත්කර තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය එකසිය අසූහතර බවත්, මේ අනුව ශිෂ්‍යයෙකු එක් විෂයකට ලකුණු අනූදෙකකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබිය යුතු බවත් ලංකා ගුරු සංගමය පවසා සිටියි.

පාසලකට ඇතුළත් කර ගන්නා අඩුම ලකුණු ප්‍රමාණය එකසිය පනස් එකක් බවත්, ලකුණු ප්‍රමාණය අඩුම සලකා බලන පාසලට ඇතුළත් වීමට එක් විෂයකට ලකුණු හැත්තෑපහයි දශම පහක් ලබාගත යුතු බවත් එම සංගම ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

දේශපාලනඥයන් හා වෙනත් බලවත් පුද්ගලයන් විසින් 2 සිට 5 දක්වා පන්තිවලට ශිෂ්‍යයන් ඇතුළත් නිසා පහ වසර ශිෂ්‍යත්වය සමත්ත දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍යයන්ට පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී තිබන බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

මේ වසර තුළදී පමණක් 2 සිට 5 දක්වා පත්තිවලට ළමයින් තිස්දහසකට වැඩි ප‍්‍රමාණයක් නීතිවීරෝධි ලෙස ඇතුළත් කර තිබෙන බවට වාර්තා වන බවත්, මේ නිසා ශිෂ්‍යත්වය සමත් පිරිස් පාසලට ගැනීම සීමා කරගත යුතු නිසා ලකුණු ප්‍රමාණය ඉහළ දමා තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය.

මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත්, මීට අමතරව ලකුණු මට්ටම පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවත් ඒ මහතා පැවසීය.

පාසල්වලට ඇතුළත් කරන්නා ලකුණු ප්‍රමාණය අඛණ්ඩව ඉහළ දැමීම නිසා අදාළ ලකුණු සීමාව ලබාගන්නා තැනට දරුවන් පත් කරන බවත්, මේ නිසා සමාජයට කෘත්‍රිම ළමයෙකු බිහිවන්ත තත්වයට මෙය පත්ව තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි.

එම නිසා මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් අවධානය යොමුකර බුද්ධිමත් දරුවකු බිහිකර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවද එම සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා පැවසීය.

 ඉන්දික හේවාවිතාරණ