ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් පමණ අල්ලස් දීමට පෙළඹී සිටින බව දූෂණය සම්බන්ධයෙන් කළ සමික්ෂණයකින් අනාවරණය වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටරිනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේස්කාර මහතා පැවැසිය. මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට හැත්තෑ දෙකක ප්‍රතිශතයක් දූෂණය
පිළිබඳ සිදුවීම් හා යම් යම් දූෂණ කටයුතු පිළිබඳව පැමිණිලි කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් පවතින්නේ යැයි  නොදන්නා බවද අසෝක ඔබේසේකර මහතා සඳහන් කළේය. දූෂණය සම්බන්ධයෙන් මහජන මතය විමසන ලෝකයේ විශාලතම සමීක්ෂණය වන ග්ලෝබල් කරප්ෂන් බැරෝමීටර් සමීක්ෂණයේ 2019 වර්ෂය
සදහා ප්‍රගති වාර්තාව එළිදක්වමින්, කොළඹ පිහිටි  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනෙල් ආයතනයේ 9දා පැවැති මාධ්‍ය හමුවකදී අසෝක ඔබේසේකර මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

දූෂණය අඩුම රාජ්‍ය ආයතනය අධිකරණය යැයි සියයට හැත්තෑ තුනක්  විශ්වාස කරන බවත් දුෂණය සම්බන්ධයෙන් පොලිසියට ඇත්තේ සියයට පනස් හතක විශ්වාසයකැයිද රජය ගැන තිබෙන්නේ සියයට හතළිස් හතක ජනතා විශ්වාසයකැයි ද එම  සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.මෙම සමීක්ෂණයට අනුව රාජ්‍ය සේවාවන් ලබාගැනීමට යෑමේදී එම සේවය වෙනුවෙන් ලිංගික අල්ලස් ලබාදීමට සිදුවන බව සියයට හතළිස් හයක පිරිසක් සඳහන් කර තිබේ. ග්‍රාමීය මට්ටමේ ජනතාව සහ වතුකරයේ ජනතාව ලිංගික අල්ලසට වැඩිවශයෙන් භාජනයවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද අනාවරණයවී තිබේ.

අල්ලස හා දූෂණය වැළැක්වීමට රජය විසින් අල්ලස් කොමිසමක් පිහිටුවා ඇති බව මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑ දෙකක් නොදන්නා අතර දූෂණය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීම සඳහා එවැති යාන්ත්‍රණයක් පවත්වාගෙන යන බවට ජනතාව තුළ ඇති නොදැනුවත්කම අල්ලසට එරෙහිව සටන් වැදීමට ඇති ලොකුම අභියෝගය බවද, සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.  මෙම සමීක්ෂණයේ සමස්ත ප්‍රතිඵල දෙස අවධානය යොමුකරන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ වසර දෙකක ජාතික ක්‍රියාකාරී සැලැස්ම වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කළයුතු බව නිර්දේශ වී ඇත.මෙම මාධ්‍ය හමුව සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ වැඩසටහන් නිලධාරී විනෝත් ලක්ෂාන් සහ කළමනාකාරි නීතිඥ මංගලා ශංකර් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

-දසුන් රාජපක්ෂ-