ප්‍රසංගයක් පවත්වා තෑගි භෝග ලබා දෙමින් බෞද්ධ පිරිස් වෙනත් ආගමකට බඳවා ගැනීමට උත්සාහ දැරූ බවට පැවසෙන පූජකයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු පිරිසක් වෙත ප්‍රකෝපකාරී වූ බණ්ඩාරගම
වල්ගම ප්‍රදේශවාසීන් ගල්මුල් එල්ල කර පහරදීමට කළ උත්සාහයක් පෙරේදා 22දා මහා සංඝරත්නය වැඩම කර ව්‍යර්ථ කර තිබේ.එම සිද්ධිය බණ්ඩාරගම පොලීසියට දැනුම්දීමත් සමග පොලිස් නිලධාරින් පැමිණ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
කළුපාටට හුරු ඇඳුම් හැඳගත් පිරිසක් හා පූජකවරයක් බව කියා ගත්තා පුද්ගලයකු විසින් වල්ගම නිවාස සංකීර්ණයේ විඳුලි බල්බවලින් අලංකාර කළ හිස් ඉඩමක අධික ශබ්දයෙන් යුත් ශබ්දවාහිනී සවිකර සමූහ ගීත ගායනා කරමිත් තෑගි බෝග ලබා දෙන බවට ප්‍රදේශවාසීන්ට ලද තොරතුරක් අනුව ඔවුන් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවේදී මේ
පිළිබඳ අනාවරණය වී ඇති බව සූර්යවැව අමිත හිමියෝ පැවසූහ.

මෙම සිද්ධියෙන් ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරී වී ඇති බව යහලතැන්නේ පඤ්ඤාලංකාර හිමියන්ට සැලවීමත් සමග අනෙකුත් විහාරස්ථානවල හිමිවරුන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ අතර, සියලුම හිමිවරුන් වහා එම ස්ථානයට වැඩම කර ප්‍රදේශවාසීන් සන්සුන් කර සිදුකළ සොයා බැලීමේදී බෞද්ධ පිරිස් වෙනත් ආගමකට හරවා ගැනීමට පැමිණි කණ්ඩායමක් බවට අනාවරණය වූ බව සූර්යවැව අමිත හිමියෝ පැවසූහ.
වහා ක්‍රියාත්මක වූ මහා සංඝයා වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසීන් එම ස්ථානයේ තිබූ වාහනවල නැගී එම ස්ථානයෙන් පිටවීමට උත්සාහ දැරූ පූජකවරයා බව කියා ගන්නා  පුද්ගලයා හා සෙසු පිරිසට යාමට ඉඩ නොදී  රඳවා ගෙන ඇති අතර, පූජකයා බව කියා ගත්නා පුද්ගලයා මීට තෙමසකට පමණ ඉහතදී බණ්ඩාරගම මැදගම ප‍්‍රදේශයේ නිවසකට පැමිණ යාඥාකර රෝග සුවකර දෙන බවත්,ආර්ථිකය නගා සිටුවන බව පවසා බෞද්ධ පිරිස්  නැඹුරු කරගැනිමට උත්සාහ දැරූ පුද්ගලයාම බව සංඝයා වහන්සේලා විසින් හඳුනාගෙන තිබේ. ඔහු එදින පොලීසියේ අවවාද මත මුදා හැර ඇති අතර, බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති
කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතාගේ  අවධානය මේ සම්බන්ධයක් යොමු වී තිබේ.

වහා එම ස්ථානයට පැමිණි පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සත්කාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහත්වරු මහා සංඝයා වහන්සේලා සමග මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර දෙපාර්ශ්වයම පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මින් මතුවට මෙවැනි දේවල්වලට යොමු වුවහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට මෙම පිරිසට පානදුර කොට්ඨාස භාර
පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය. මෙම අවස්ථාවට මාතර රතනවංශ, වල්ගම චන්ද්‍රරතන, පරවාහැර ඉන්දසුමත යන හිමිවරුන්ඳවැඩම කර සිටියහ.
 -බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ-