නව පරම්පරාවට ඉඩ දෙමින් තමා දේශපාලනයෙන් සමුගන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පෙරේදා මහනුවරදී පැවසීය.

යළි මැතිවරණවලට ඉදිරිපත්වීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි ද රට වෙනුවෙන් වැඩ කරන තරුණ පරපුරට සහය දෙන බැව් ද ඔහු කීය.

හිටපු අමාත්‍යවරයකු චන ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ පැවසුවේ මහනුවර කච්චේරියේදී පැවැති නව දිස්ත්‍රික් සංවර්ධන
කමිටුවේ නිලධාරීන්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත්අමුණුගම මහතා මෙසේ ද කීය.
අපේ අරමුණ විය යුත්තේ බුද්ධිමත් තරුණයන්ටත් රට වෙනුවෙන් යමක් කිරිම සඳහා අවස්ථාවක් ලබාදීමයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වීමත් සමග රටේ පිබිදීමක් ඇති වුණා. ඒ අනුව මහජනතාව ද නගර පවිත්‍ර කටයුතු හා නගර අලංකරණ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවා. එය අද රට පුරා දැක ගත හැකියි.

මේ තත්වය මත ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙනවා. මා හිතන විදියට තුනෙන් දෙකක බලයක් ලබා ගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට හැකි වෙනවා.

මින් ඉදිරියට මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කටයුතු කිරිමේදී මුදල් ප්‍රතිපාදන ලැබෙන තුරු බලා නොසිටින
ලෙස මා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳව සංවර්ධන ව්‍යාපෘති වාර්තාවක් සකස් කර එය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි.

රජයේ මැති ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන ආයතනවලින් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් ලබාගෙන එම සංවර්ධන කටයුතු කළ හැකියි.

නිලධාරීන් ප්‍රතිපාදන ලැබෙන තෙක් බලාගෙන හිටියම සංවර්ධන වැඩ ප්‍රමාද වනවා. සංවර්ධන වැඩ ව්‍යාපෘති සකස් කර අවසන් වීමෙන් පසු ඒ සඳහා අරමුදල් ලැබුණු විගස ඒවා ක්‍රියාත්මක කළ හැකියි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රථම රැස්වීමට සහභාගි වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු ප්‍රාදේශිය ලේකම් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්, අමාත්‍යාංශ ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජේ.ඒ.එල්. ජයසිංහ