මුහුණුපොතින් හඳුනාගෙන විවාහ පොරොන්දු වි ඉතාලියේ සේවය කරන තරුණයකුගෙන් රුපියල් ලක්ෂ 35ක් වංචා සහගත අයුරින් ලබාගත්තැයි චෝදනා ලැබූ 35 හැවිරිදි කාන්තාවක් පිළිබඳව ගම්පොළ පුස්සැල්ලාව
පොලිසිය පුළුල් පරික්ෂණ අරඹා එහි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම කාන්තාව ගම්පොළ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය වෙත බාරදී තිබේ. පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළිබඳව මාවනැල්ල ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරික්ෂණ අරඹා තිබේ.

මේ සම්බන්ධව ලද පැමිණිල්ල සමග පෙරේදා (10) සවස මෙම දෙපාර්ශය පුස්සැල්ලාව පොලිසිය වෙත කැඳවූ අවස්ථාවේ මෙම දෙදෙනාට අයත් දෙපිරිසක් පොලිසිය තුළ ගුටිබැට හුවමාරුවක නිරතවීම නිසා එයට මුල්වූ එක් අයෙක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 හැවිරිදි මෙම තරුණයා බොහෝ කලක් තිස්සේ ඉතාලියේ සේවය කරන අතර මුහුණුපොත මඟින් ලංකාවේ සිටි මෙම කාන්තාව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

බාලවයස්කාර තරුණියක ලෙස එහිදී හැසිරි ඇති මෙම කාන්තාව විවාහ පොරොන්දු දී තරුණයා රවටා වරින් වර මුදල් ලබාගෙන ඇත්තේ මෙම දෙදෙනාට නිවසක් සෑදීම ඇතුළු විවිධ අවශ්‍යතා පවසමින් බව තරුණයාගේ පාර්ශවයෙන් චෝදනා නගා ඇත.  මේ අයුරින් මෙම කාන්තාව මුදල් ලබාගෙන ඇය විසින් ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෝටලයක් කුලියට ගෙන ගෙස්ට් හවුසියක් ද පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් බණ්ඩාර පලිපාන මහතා දෙපාර්ශ්වයටම කරුණු පහදා දී මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සඳහා කොට්ඨාස විමර්ශන අංශය වෙත බාරදී තිබේ.