අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පැවති රජයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තම රජයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂ නායකයින් සමගින් මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශමහතා මේ බව පැවසුවා.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්ද සොයා බලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටය කටයුතු කරන බවද ඔහු පැවසුවා.

රාජගිරිය ප්‍රෙද්ශයේදී තරුණයෙකු කැබ්රථයකට යට කර බරපතල තුවාල සිදුකර පලායාම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට විරුද්ධවද, ඩිෆෙන්ඩර් රියකින් ගොස් තරුණයෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට විරුද්ධවද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් වීරවංශ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.

සුදු වැන් රියදුරු ලෙස පසුගිය දා යම් පුද්ගලයෙක් ගෙන්නවා රාජිත සේනාරත්න මහතා විසින් කළ සිද්ධිය සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් විමල් වීරවංශ මහතා කියා සිටියා. අදාල රියදුරුයැයි පැවසු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඔහුගේ සාක්ෂි අනුව එවැනි ඝාතන සිදුවි ඇත්නම් ඒ සම්බන්දයෙන්ද ක්‍රිා කරන බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීමට ප්‍රතිවාදීන් කටයුතු කළ බවත්, ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළා.