නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී සංවාද කිහිපයකටම තමන් සහභාගී නොවන බව දන්වා තිබෙනවා.



ජනප්‍රිය රූපවාහිනී සංවාද වැඩසටහන් වන ඩිල්කා සමන්මලී මෙහෙයවන දෙරණ 360 වැඩසටහනට හා සුදේව හෙට්ටිආරච්චි මෙහෙයවන හිරු සළකුණ වැඩසටහනට එම ආයතනවලින් කර තිබූ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.‍ සජිත් ප්‍රේමදාස මහතා ලබන 11 වැනිදා තම වැඩසටහනට සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට විකාශය කරමින් එම වැඩසටහනට විශාල ප්‍රසිද්ධියක්ද ලබා දීමට දෙරණ ආයතනය කටයුතු කර තිබූ අතර පසුව ප්‍රේමදාස මහතා ඊට සහභාගී නොවන බව දන්වා තිබෙනවා.

ඒ අනුව එදින එම වැඩසටහනට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එම ආරාධනය පිළිගෙන තිබෙනවා. ඒ අනුව 11 වැනිදා දෙරණ 360 වැඩසටහනට
ඔහු සහභාගී වීමට නියමිතයි.

හ‍ිරු සළකුණ වැඩසටහන සඳහාද ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබූ අතර මුලින් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොතිබුණද පසුව තමන් සහභාගී නොවන බව දැන්වූ බව හිරු නාලිකාවේ ප්‍රධානියෙකු තහවුරු කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිරු සළකුණ වැඩසටහනක් සඳහා ආරාධනා කර තිබෙන අතර ඔහු එම ආරාධනාව පිළිගෙන තිබේ. නමුත් එම වැඩසටහන විකාශය වන දිනය මෙතෙක් තහවුරු කර නැත.

සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයක් සඳහා ආරාධනා කර තිබුණි.