ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ දිනක කාලයක් පමණි. මේ නිසා ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව හා ඡන්දදායකයන් කටයුතු
කළයුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කතාබහක නිරත විය.

ඡන්දපොළේදී අනන්‍යතාව තහවුරු කිරීම
හෙට (16දා) දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන් තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න ඕන. මේ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පපත, පුද්ගලයන් ලියාපදිංචි කිරීම් දෙපාර්ලිමේන්තුව නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත යන අනන්‍යතා පත්‍ර අතරීන් එකක් ඉදිරිපත් කරන්න ඕන. නමුත් මෙම අනන්‍යතා සහතික නොමැති අයට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන විශේෂ හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්.


විදේශ රටවල් වල සිට පැමිණෙන ඡන්දදායකයන්ගේ අනන්‍යතාව
විදේශ රටවල සිටින ඡන්දදායකයන් ඡන්දපොළේදී ජාතික
හැදුනුම්පතට අමතරව වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදික් කරන්න ඕන, වලංගු විදේශ ගමන් බලපත්‍රය නොමැති වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කරන්න වෙනවා. වෙනත් අනන්‍යතිපත්‍ර ඉදිරිපත් කරන ඡන්දදායකයන්ට ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ ඇති අදාළ ආකෘතියට අනුව ප්‍රකාශයක්ද ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. ප්‍රකාශයක් ඉදිරිපත් නොකරන ඡන්දදායකයින්ට ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරන්නේ නැහැ. ඡන්දදායකයන්ගේ අනන්‍යතාව පිළිබඳව සැකයක් ඇතිවුවහොත් හොර ඡන්දයක් දැමීමට පැමිණ කෙනෙකු සේ සලකා වැඩිදුර පරික්‍ෂණ සඳහා පොලිස් භාරයට ගන්න පුළුවන්.

ඡන්ද ආයාචනා කිරීම
කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක, පාඨශාලාවක, පළාත්පාලන ආයතනයක හෝ වෙනත් රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩල සතු ආයතනයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදීම ශිෂ්‍ය වෙනත් එවැනි කාර්යයන් සිදුකිරීමට හෝ රැස්වීම් පැවැත්වීම තහනම්. මේ නිසා මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියලුම දේශපාලනඥයන්, දේශපාලන ක්‍රියාකාරිගෙන්, වෘත්තීය සමිතිවලින් ඉල්ලීම් කරනවා. ස්වකීය පාලනය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් හා උපකාර්යාලවල ප්‍රධානීන් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සිදු නොකිරීමට වගබලාගත යුතුයි.

ඡන්දය භාවිත කිරීමට සහායකයෙකු ලබාගැනීම
පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වයකට හෝ යම් ශාරීරික ආබාධයකට පත්වුව ඡන්දහිමියෙකුට ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකිය. ඡන්දපොළට කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුයි. මීට අමතරව අදාළ සහායකයා අපේක්‍ෂකයකු වෙන්න බැහැ. ඒ වගේම දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයකු වෙන්නත් බැහැ. අදාළ සහායකයකු රැගෙන යාම සඳහා යෝග්‍යතා සහතිකයක් ඉදිරිපත් කරන්නෙ ඕන. මීට අදාළ අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ ග්‍රාම නිලධාරී මගින්  ලබාගන්න පුළුවන්. අදාළ අයදුම්පත් සම්පුර්ණ කර ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන්න ඕන. ග්‍රාමනිලධාරීවරයාගෙන් අයදුම්පත සහතික කරගෙන රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුයි. වෛද්‍යවරයා, අදාළ ඡන්ද හිමියා පරීක්ෂා කර අදාළ අයදුම්පත් යෝග්‍යතාව සහතික කරනවා. යෝග්‍යතා සහතිකය වලගු අනන්‍යතාපත්‍රයක් සමග ඡන්ද පොළට යා යුතුය.

ඡන්දය ප්‍රකාශ කිරීම
ඡන්ද පොළේදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් ඡන්ද හිමියාගේ යෝග්‍යතා සහතිකය ලබාගැනීමෙන් පසු කැටුව ආ පුද්ගලයාගෙන් යෝග්‍යතා සහතිකයේ ii කොටසේ දැක්වෙන ප්‍රකාශ සටහන් කර ගන්නවා. අනතුරුව ඡන්දපොළ කාර්යමණ්ඩල සාමාජිකයෙකු සමග ඡන්දහිමියා සහ සහායකයා ඡන්ද කුටියට කැඳවාගෙන ගොස් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හා කාර්යමණ්ඩල සාමාජිකයා ඉදිරීයේ ඡන්ද පත්‍රිකාව සහතික කර ඡන්ද පෙට්ටියට බහාලීමට කටයුතු කරනවා. යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්දපොළට සහායකයෙකු කැටුව යන්න බැහැ. ඒත්  සහායකයකු නොමැතිව තවත් ඡන්ද නිලධාරීයෙකු ඉදිරියේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා
මගින් ස්වකීය ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට හැකියාව තියෙනචා.


ඡන්ද භාවිත කිරීම
ඡන්දදායකයන්ට සාම්ප්‍රදායික කතිරය යෙදීමෙන් හෝ අංක එක යෙදීමෙන් ඡන්දය සලකුණු කළ හැකිය. මෙහිදී ඡන්ද දායකයකුට මනාප සලකුණු කිරීමටත් හැකියාව තියෙනවා. මනාප 2 හා 3 වශයෙන් ලකුණු කිරීමට කටයුතු කරන අය අංක එක යොදා ඡන්දය සලකුණු කළ යුතුයි. හැබැයි සම්ප්‍රදායික කතිරය යොදා ඡන්දය ලකුණු කරනවා නම් මනාප ලකුණු කරන්න බැහැ. එහෙම කළොත් ඡන්ද පත්‍රිකාව අවලංගු වෙනවා. මනාප ලකුණු කිරීම අනිවාර්ය කරලා නැහැ. ඒත් අපි ඒකෙන් කියන්නේ නැහැ මනාප දාන්න එපා කියලා. තමන් කැමති නම් මනාප දාන්න පුළුවන්.

ඡන්ද පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම
ඡන්දපොළේදී ඡන්දය සලකුණු කිරීමට ලැබෙන ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරන්න බැහැ.ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම හා ඡායාරූපගත කළ ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම නීතියෙන් වරදක්. එවැනි කටයුතු කළහොත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මෙවැනි ක්‍රියා සිදුකරන පිරිසට වසර තුනක් දක්වා සිරදඬුවම් ලබාදිය හැකියි.

ඡන්ද පෙටිටි සකස් කිරීම
අපේක්‍ෂකයන්ගේ ප්‍රමාණය 35ක්. මේ නිසා ඡන්ද පත්‍රිකාව අඟල් 26ක් දිගයි. අප සතුව තියෙන ඡන්ද පෙට්ටියක මෙවැනි ඡන්ද පත්‍රිකා දාන්න පුළුවන් වෙන්නේ හාරසිය පහළොවක් පමණයි. ඡන්ද හාරසීයට
අඩු ඡන්ද මධ්‍යස්ථාන තියන්නේ 349ක් විතරයි. ඡන්ද මධ්‍යස්ථාන 12,845ක් තියෙනවා. මේ නිසා ඡන්ද මධ්‍යස්ථාන 350ට අමතරව සෑම මධ්‍යස්ථානයකටමඡන්ද පෙට්ටි දෙකකට වඩා ගෙනියන්න ඕන. අපේ ඡන්දපොළවල් ගත්තම සමහර ඡන්ද පොළවල්වල ඡන්ද දෙදහස් අටසීයකට වැඩි ඒවා තියෙනවා. ඒක නිසා ප්ලාස්ටික් පෙට්ටි ගන්න බැලුවා. ඒත් අඩුම ප්ලාස්ටික් පෙට්ටියක මිල රුපියල් 6000ත් 8000ත් අතර මුදලක්. ඒක නිසා අපි විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කරනවා. වැඩිපුරම ඡන්ද තියන ස්ථානවලට විශාල ඡන්ද පෙට්ටි ලබාදෙනවා. අනෙකුත් ස්ථානවලට කොමිෂන් සභාව සතුව තියෙන ඡන්ද පෙට්ටි භාවිත කරනවා. මෙතනදී කොමිසම සතුව තියෙන ඡන්ද පෙට්ටි ඡන්ද අටසීයකට වඩා අඩු ස්ථානවලට ලබාදෙනවා. කාඩ්බෝඩ් පෙට්ටි මධ්‍යම ප්‍රමාණයෙන් හා විශාල ප්‍රමාණයක් සකස් කරලා තියෙන්නේ.

ඡන්දදායකයන්ට සාම්ප්‍රදායික කතිරය යෙදීමෙන් හෝ අංක එක යෙදීමෙන් ඡන්දය සලකුණු කළ හැකිය. මෙහිදී ඡන්ද දායකයෙකුට මනාප සලකුණු කිරීමටත් හැකියාව තියෙනවා. මනාප 2 හා 3 වශයෙන් ලකුණු කිරීමට කටයුතු කරන අය අංක එක යොදා ඡන්දය සලකුණු කළ යුතුයි. හැබැයි සම්ප්‍රදායික කතිරය යොදා ඡන්දය ලකුණු කරනවා නම් මනාප ලකුණු කරන්න බැහැ. එහෙම කළොත් ඡන්ද පත්‍රිකාව අවලංගු වෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය
ඡන්දය ප්‍රකාශ කිරීමට යම් කාලයක් ගතවන නිසා සවස 4.00ට ඡන්ද ප්‍රකාශය අවසන් කිරීමට තිබූ කාලය සවස 5.00 දක්වා දීර්ඝ කළා. මේ නිසා අලින් ගැවසෙන ප්‍රදේශවල ඡන්ද රාජකාරියට යන නිලධාගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මේ සඳහා වනජීවී සංරක්‍ෂණ හා වනසංරක්‍ෂණ නිලධාරීන්ගේත්,
පොලිස් නිලධාරීන්ගේත් සහය ලබාගන්නවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කළ නිසා 16 වන දින සවස 4.15ට තැපැල් ඡන්ද ගණන් කිරීමට සැලසුම් කර තිබූ කාලය සවස 5.15 දක්වා ඉදිරියට යනවා.

ඡන්දය ගණන් කිරීම ආරම්භ කරන්න සැලසුම් කරලා තිබුණේ සවස 6.00ට. එම වෙලාව සවස 7.00 දක්වා ඉදිරියට යනවා. මේ නිසා ප්‍රතිඵල ලබාදීමේ කාලයත් දීර්ඝ වෙනවා. අවසන් ප්‍රතිඵලය ලබාදීම 17 සවස් වෙන්න පුළුවන්. කොහොම උනත් 18 චන දින දහවල් කෑමට පෙර ප්‍රතිඵලය ලබාදෙනවා, දෙවන මනාපය ගණන් කිරීමට සිදුවුවහොත් එම කාලය තවත් පැය කිහිපයකින් දීර්ඝ වෙන්න පුළුවන්. ඡන්ද පත්‍රිකාව දිග වැඩි නිසා තමයි ඡන්දය භාවිත කිරිම් කාලය දීර්ඝ කළේ. ඒ වගේම ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම් ප්‍රමාද වෙන්නෙත් ඡන්ද පත්‍රිකාව දිග නිසා.

හොර ඡන්ද දමන්නන්ට එරෙහිව
හොර ඡන්ද දැමීම වළක්වන්න කටයුතු කරලයි තියෙන්නේ. ඒ සඳහා ඇඟිල්ල පාට කරනවා. අනන්‍යතා පත්‍රය පරීක්ෂා කරනවා. කවුරුහරි මෙවැනි කොලොප්පම් කිරීමට ආවොත් වසර අටකට ප්‍රජා අයිතිය අහෝසි වෙනවා. අවුරුදු පහකට අත්හිටවූ සිරදඬුවමක් ලැබෙන්න පුළුවන්. එවැනි අත්හිටවූ සිරදඩුවම් ලැබුණට පස්සේ ඒ අතරතුර වරදක් කළොත් හිරේ යනවා. ඒක නිසා ඡන්දය ඔබේ අයිතියක්. ඇවිත් ඡන්දෙ දාන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. හොර ඡන්ද වගේම මැර ඡන්ද දාන ඒකත් කරන්න බැහැ.

ඡන්දය අවලංගු වීම
කතිර දෙකක් ගැසීමෙන් ඡන්ද පත්‍රිකාව අවලංගු වෙනවා. නැත්නම් කතිරයයි, එකකුයි ලකුණු කිරීම, එසේ නොමැති නම් කතිරයයි අතුක 2 හා 3 ලකුණු කිරීම, ඡන්ද පත්‍රිකාවේ අනවශ්‍ය දෑ ලිවීම හෝ ලකුණු කිරීම වැනි දේවල් කළොත් අවලංගු වෙනවා. පිරිමි නිසා ඡන්ද පත්‍රිකාව හොඳට බලලා නිවැරදි ආකාරයට ලකුණු කරන්න ඕන. මුලින් ඡන්දය ලකුණු කරලා එය වැරදිලා වෙනත් තැනක කතිරය ගහන්න බෑ. ඒ වගේම මුලින් ගහන කතිරය හෝ ඒක ගහලා පසුව එය මකන්නත් බැහැ.


මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාමාර්ග ගැනීම
මැතිවරණ නීති උල්ලංඝනය වන කටයුතු කවුරුහරි කියපු ගමන් "හරි මං කරන්නම්" කියලා තියෙනවා නම් එම නිලධාරීන් වැරදිකරුවෝ වෙනවා. කාටහරි බයේ කෙරුවා කියලා කිව්වත් බය නිදහසට කරුණක් නෙවෙයි. ඕනෑම රජයේ නිලධාරියකු තමන්ට දීපු වැරදි නියෝගයක් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. වැරදි බව ඒත්තු  ගැන්වීමට සෑම උත්සාහයක්ම ගත්තා කියලා ඔප්පු නොකළහොත් එම නිලධාරීයා වැරදිකරුවෙක් වෙනවා. මේ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය මාධ්‍ය ආයතන තුනේ නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.

සමස්ත මැතිවරණ ප්‍රචාරක කාලය
හොඳ දේවල්වලට හොඳයි කියන්න ඕන. එම කාලය තුළදී නියපොත්තක් කැපුවා කියලවත් පැමිණිල්ලක් නැහැ. 2015 ජනාධිපතිවරණය පටන් ගත් 2014 නොවැම්බර් 21 වන දින. එදා රෑම රතිඤඤා දාපු මිනිහෙක් කැපුවා. අවසාන දිනට දින දෙක තුනක් තියලා වෙඩිතියලා පුද්ගලයෙකු මැරුවා, ගිනි තිබ්බා, ගැහැව්වා. ඒක නිසා ඒ මැතිවරණයේදී අපේ දිසාපතිවරුන්ට, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට විශාල රාජකාරි ප්‍රමාණයක් තිබුණා. මේ මැතිවරණයේ ගෙවී ගිය කාලය ඒ අතින් හොඳයි. ඒක නිසා රටේ මහජනතාවට ස්තුතියි. ජනතාවට වගේම අපේක්ෂකයන්ටත් ස්තුතියි.

මැතිවරණ පැමිණිලි
අපේ පැමිණිලි ඒකකවලට ඊයේ (14 දා) වන  විට පැමිණිලි තුන්දහස් හත්සිය විසිනවයක් ලැබිලා තියෙනවා. මේවායින් පැමිණිලි 3596 නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි. 27ක්  ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් හා වෙනත් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි 106ක් ලැබිලා තියෙනවා. සමස්ත පැමිණිලිවලින් පැමිණිලි 2640ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකවලට  ලැබී තිබෙනවා. පැමිණිලි 1089ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට ලැබිලා තියෙනවා.

-ඉන්දිකා හේවාවිතාරණ-