බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඊයේ (09) විදුලිය විසන්ධි වීමට හේතුව අබලන්වූ විදුලි රැහැනක් බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම (AASL) පවසයි.



විදුලිය විසන්ධි වීම හේතුවෙන් කෙටි කාලයක් තුළ ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණි නමුත්, එම සමාගමේ සේවකයන් විසින් මිනිත්තු 28ක් තුළ විදුලි බලය යළි යථා තත්ත්වයට පත් කිරීමට සමත් වූ බව ද එම සමාගම පවසයි.


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ වසර 30 ක් පැරණි බාහිරව සම්බන්ධ වන කිලෝ මීටර 40 ක දිගින් යුතු අධි බලැති විදුලි රැහැනක හට ගත් දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වීම සිදු වී ඇති බව හඳුනා ගෙන ඇත.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදලින් ක්‍රියාත්මකවන ගුවන්තොටුපොළ සමස්ත සංවර්ධන ව්‍යාපෘතියේ A පැකේජයේ දෙවන අදියර යටතේ 2020 වන විට එම වසර 30 ක් පැරණි විදුලි රැහැන නවීකරණය කිරීමට සැලසුම් කර තිබිණි.
මේවන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු මුළුමනින් ම සාමාන්‍ය අතට පත්කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
සිදුවූ අපහසුතාව පිළිබඳ තම ආයතනය සියලු මගීන්ගෙන් සහ ගුවන්තොටුපොළ පරිහරණය කරන සියලු දෙනාගෙන් සමාව අයැද සිටින බව ද එම සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා සඳහන් කරයි.