දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකම් නොමැති රජයේ නිලධාරින්ට නිවාඩු ලබාගෙන හෝ දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් බවත් එලෙස
දේශපාලන කටයුතුවල නිරතවන්නන් ආයතන සංග්‍රහයට අනුව සේවයෙන් පහ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජනරාල් එම්.වීම්. මොහාමඩ් මහතා පැවසීය.

එලෙස දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති රජයේ නිලධාරින්ට සිදුකළ හැකි එකම දෙය වන්නේ ඡන්ද විමසන අවස්ථාවකදී ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් බවද ඔහු සදහන් කළේය.

රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරමින් ඒ මහතා මේ බව කීවේය.

ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරින්, සාම නිලධාරින් ලෙස සලකන ග්‍රාම නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික නිලධාරීන් ආදී ආයතන සංග්‍රහය මගින් සඳහන් කර ඇති නිලධාරින්ට මෙලෙස සක්‍රීය දේශපාලන කටයුතුවල නිරත වීම් අවස්ථාව නොමැති බව හෙතම සඳහන් කළේය.


සිය රාජකාරී වේලාව තුළ හෝ රාජකාරී වෙලාවෙන් බැහැර ඔවුන්ට දේශපාලන කාර්යන්හි නිරතවීමට නොහැකි අතර, ඔවුන්ගේ නමින් ඇති සමාජ මාධ්‍ය තුළ දේශපාලනය කළ නොහැකි බව මොහාමඩ් මහතා අවධාරණය කළේය.

ආයතන සංග්‍රහය තුළ එලෙස සඳහන්ව ඇති පුද්ගලයන් දේශපාලන ක්‍රියාවල නිරතව ඇත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ විනය බලධාරීයාට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකි බවද මොහොමඩ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාව, දැනුම, කාලය මේ සියල්ල රජයට අයත් බවද හෙතෙම සඳහන් කළේය.

ආයතන සංග්‍රහයට අනුව දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරින් වන්නේ අධිකරණ නිලධාරින්, සන්නද්ධ
සේස්වාවල නිලධාරීන් , පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරින්, බන්ධනාගාර නිලධාරීන්, මාණ්ඩලික හා අධීක්ෂණ නිලධාරීන්, මැතිවරණ කටයුතු පිළිබඳ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.

ආයතන සංග්‍රහයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම පිළිබද සඳහන් වන Xxxii පරීච්ජේදයේ 1.2 වගන්තිය යටතේ මේ සම්බන්ධයෙන්  මෙසේ දක්වා ඇත.
'ජනාධිපති තේරීමකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී, ජනමත විමසුමකදී.පළාත් සභා මැතිවරණයකදී හෝ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දීම හැර වෙනත් කිසිදු ආකාරයක දේශපාලන කටයුත්තක යෙදීම සහ විශේෂයෙන්ම පහත සඳහන් කවර ක්‍රියාවක් වුවද කිරීම දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරියකුට තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහ කිරීම් දඩුවමට භාජනය විය යුතු වරදකි.

1.2.1 මෙහි 1.2උප වගක්තියේ සදහන් මැතිවරණයකට සහභාගි වීම. 1.2.2 මෙහි 1.2 උප වගන්තියේ සදහන් මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්දාකෙයියකුට මොනයමි ආකාරයකින් හෝ ආධාර කිරීම, 1.2.3 මෙහි 1.2 උප වගන්තියේ සඳහන් වන මැතිවරණයක් සඳහා තමන් නම් කරගනු ලැබීමට කවර පියවරක් වුවද ගැනීම.

චාමර සම්පත්