ජනපතිවරණය පැවැත්වූ අද (16) දින වාර්තාවූ සුළු සුළු සිදුවීම් කීපයක් පිළිබද සටහනක් මේ සමග පළවේ.
අද ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටුවේ පිරිසක් අතර
ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.
එම ගැටුමෙන් පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් තුවාල ලබා ඇත.
ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත අතර බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇති බව පොලිසිය කියයි.

--------
හික්කඩුව දොඩංදූව රෝහණ විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයට
පැමිණ ඡන්දය සළකුණු කර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
සැකකරු ඡායාරූපය ලබා ගත් ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශන අවසන් වීමෙන් පසු හෙට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිත බව පොලිසිය පවසයි.
--------
ඡන්ද දායකයන්ට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන ලෙස බිය වැද්දීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගෙන් පැමිණිල්ලක් ලැබුණු බව නාගොඩ පොලිසිය කියයි.
'උඹලාගේ මරණෙට මගුලට එන්නේ මම. ගෙවල් ඇතුළට වෙලා ඉඳපල්ලා.' යනුවෙන් කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඡන්ද දායකයන් බියවද්දා ඇතැයි බණ්ඩාරිගොඩ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි‍ෙ
මේ සම්බන්ධයෙන් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා
තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත යටතේ  විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.
--------
මැතිවරණ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් වැඩ තහනම් කිරීමක් සම්බන්ධව වාර්තා වී ඇත.
නොවැ 15දින දබගල්ල පියරතන මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක රාජකාරිවල නිරත වී සිටින අතරතුර බීමතින් සිටි බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුවයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ සියබලාණ්ඩුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියෙකි.
-------
නිකවැරටිය ජයන්ති මධ්‍ය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු සහ නවීන මෝටර් රථයක් අද (16) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා නිකවැරටිය ,බලගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අදාල මෝටර් රථයෙන් ඡන්ද දායකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ජයන්ති මධ්‍ය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී පොලිස් ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සිද්ධිය පිලිබඳව නිකවැරටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ  සිදු කරයි.