ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට ගැටුම් ඇතිකර ගත් එජාපය අද විපක්‍ෂ නායකත්වයට සහ පක්‍ෂ නායකත්වයට ගැටුම් ඇතිකර ගනිමින් සිටින බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා  ඊයේ (29 දා) පැවසීය.

 පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය දුන් එජාප පාක්‍ෂිකයන් දැන් එජාපයෙන් ඈත් වෙන බව පැවසූ ඩී. වී. චානක මහතා ඉදිරි මහ මැතිවරණයේදී එජාපයට දෙවැනි තැන රැකගැනීමට ටී. එන්. ඒ. සංවිධානය සමග ප්‍රබල සටනක්‌ දීමට සිදුවනු ඇතැයි ද කීවේය. 2010 වසරටත්
වඩා ඉදිරි මහ මැතිවරණයේදී එජාපය පල්ලම් බහින බව ද ඔහු පැවසීය.

 රනිල් වික්‍රමසිංහ මහතා, සජිත් ප්‍රේමදාස මහතාට එජාප අපේක්‍ෂකත්වය දුන්නේ ඔහු පරාජය වන බව දැන දැන යෑයි පැවසූ ඩී. වී. චානක මහතා තමන් අසාර්ථක නායකයකු බව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී ඔප්පු කර පෙන්නුවේ යෑයි ද පැවසීය. වසර විසිපහක්‌ තිස්‌සේ තමන් නියෝජනය කරන හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය ද පරාජය වන සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හෝ විපක්‍ෂ නායක ධුරය ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකරනු ඇතැයි කී ඩී. වී. චානක මහතා එම ගැටුම් හමුවේ එජාපය තව තවත් අරාජික වන බව ද සඳහන් කළේය.
අනුරාධ හිරිපිටියගේ