මාධ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. කැෆේ
සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද වවුනියාවේ පැවැති

වැඩමුළුවකදී පෙන්වා දුන්නේ බහුතරයක් මාධ්‍ය මෙවර එක් එක් අපේක්ෂකයින්ට සහය දක්වන බව
පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි. මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය විසින් සමීක්ෂණයක් සිදුකරමින්
සිටින බවත් අදාල සමීක්ෂණ වාර්තාව ජනාධිපතිවරණයෙන් පසුව එළිදැක්වීමට
අපේක්ෂා කරන බවත් අහමඩ් මනාස් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසම විසින් පසුගියදා ස්වාධීන රූපවාහිනිය වෙත දේශපාලන වැඩසටහන් නවතා දමන  ලෙස
නියෝගයක් කොට එම නියෝගය අවලංගු කිරීමෙන් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන්  දැඩිව ක්‍රියාත්මක වීමට
මැතිවරණ කොමිසමට  ඇති බලය  තහවුරු වෙන බව ඒ මහතා පැවසීය. නමුත් පෞද්ගලික මාධ්‍ය
සම්බන්ධයෙන් එලෙස ක්‍රියාත්මක වීමට මැතිවරණ කොමිසමට බලතල නොමැති බව දන්නා පුද්ගලික මාධ්‍ය
නිර්ලජ්ජිත ලෙස මාධ්‍ය සදාචාරය උල්ලංගනය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය උපමාන උල්ලංගණය කිරීමට එරෙහිව ගත හැකි නීතිමය  තත්වයන් යළි සැකසිය යුතුව ඇති බව සඳහන් කරන මනාස් මකීන් මහතා කියා සිටියේ ඉදිරියේදී එම නීති සංශෝධනය කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වීමට අපේක්ෂා කරන බවයි.

මේ වනවිට කැෆේ  සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව    684  ක් වන අතර ඒ අතරින්
බහුතරය ප්‍රචාරණ නීති උල්ලංඝනය කිරීම් වෙයි.