කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කළුවාමෝදර නිවෙසට පෙරේදා රාත්‍රියේ සොරකු ඇතුළු වීම සම්බන්ධයෙන් ඔහු පැමිණිල්ලක් කර ඇති අතර

අලුත්ගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
වෙල්ගම මහතා පවසන්නේ නිවෙසේ නිදන කාමරයක ජනේලයක් කඩා සොරා නිවෙසට ඇතුළු වී ඇති බවත් ඒ අවස්ථාවේදි නිවෙසේ කිසිවකුත් සිට නැති බවත්ය. මන්ත්‍රීවරයාගේ මෙම නිවස කළුවාමෝදර ගග අද්දර පිහිටා තිබෙන අතර සොරා ගංඉවුර ඔස්සේ පැමිණ නිවසට ඇතුළු වී
ඇත්දැයි යන්න පිළිබඳව එම ප්‍රකාශ අනුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ පිළිබඳව මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලක් අනුව අලුත්ගම පොලිසියේ නිලධාරීන් නිවෙසට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර නිවසේ නිදන කාමරයේ ජනේලය බිඳීමට ගෙනැවිත් තිබූ උල් යකඩ ආයුධයක් පොලිසියට හමු වී ඇත.  නිවෙසට ඇතුළු වූ පුද්ගලයා හෝ කණ්ඩායම මෙලෙස පැමිණ ඇත්තේ සොරකමකටද නොමැති නම් මන්ත්‍රීවරයාගේ නිවස නිරීක්ෂණයටද යන්න සොයා බලමින් තිබේ.

මෙම නිවෙසේ මුදල් සහිත කුඩා සේප්පුවක් තිබී ඇති අතර සොරා එම සේප්පුව රැගෙන ගොස් නැතැයිද  නිවෙසේ තිබූ අල්මාරිය ද අවුස්සා ඇතත් එහි තිබූ කිසිවක් රැගෙන ගොස් නැතැයිද මන්ත්‍රී කුමාර වෙල්ගම දන්වා සිටි අතර තමාගේ ජිවිතයට හානියක් සිදුකිරීමේ අරමුණින්දැයි සැක බවද ඔහු කියා තිබේ.
මේ අතර සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇති ආරංචියකින් කියැවෙන්නේ මාධ්‍ය අවධානය දිනාගැනීමට වෙල්ගම මහතා බොරුවක් කර ඇති බවයි.