පක්ෂ සාමාජිකයන් හෝ අමාත්‍ය ධුරයෙන් තමා කිසිසේත්ම ඉවත් නොවන බවත්, හැකිනම් ඉවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යෙ වසන්ත සේනානායක මහතා ඊයේ (30) අභියෝග කළේය.



කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

තමා ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දෙමින් අමාත්‍ය ධූරයෙන් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමට සිටි බව කී වසන්ත සේනානායක මහතා, පෙරේදා(29දා) රාත්‍රියේ තමා පක්ෂයෙන් හා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කළ නිසාවෙන් තමා අමාත්‍ය ධුරයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවද පැවසීය.

තමාට අමාත්‍ය ධුරය ලබා දුන්නේ ජනාධිපතිවරයා බැවින් තමාව ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද කියාසිටි ඒ මහතා, "පුළුවන්නම් අයින් කරන්න" යනුවෙන් මෙහිදී අභියෝග කළේය.

තමා සිදුකළ කිසිදු
වරදක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැති බවත්, තමාට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බවත් කියා සිට් සේනානායක මහතා, තමා දන්නා තරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි සිතාගෙන ප්‍රශ්නයක් ඇසුවා පමණක් යැයිද මාධ්‍ය හමුවේදී පැවසීය.

පක්ෂ සභාපතිවරයා වන කබීර් හෂීම් මහතා තමාට ඇමතුමක් ලබා දෙමින් මෙය අත්වැරදීමකින් සිදු වූ බවක් පැවසු බවද කියා සිටි වසන්ත සේනානායක මහතා, එසේ සිදු වූයේ නම් මාධ්‍යයට එය පැවසිය යුතු යැයි තමා කියා සිටි බවද සඳහන් කළේය.

තමාට අවශ්‍ය පිළිතුරු නොලැබීම හේතුවෙන් දේශපාලනයෙන් ඉවත් වීමට අවශ්‍ය වූ බව කී ඒ මහතා, ඉවත්වීමෙන් අනතුරුව සිවිල් පුරවැසියකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වීමට බලාපොරොත්තු වූ බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ගැන තැබූ විශ්වාසය හා ආදරය තවමත් තිබෙන බව කියා සිටි සේනානායක මහතා, තමා කිසිදු අවස්ථාවක වෙනත් අයෙකුට උදවු කරන බව නොපැවසූ බවත්, එහෙත් දැන් ඒ ගැනද සලකා බලන්නට සිදු වන බවත් සඳහන් කළේ.

හදිසි තීරණායකින් කිසිදු කෙනෙක් පක්ෂයකින් ඉවත් කළ නොහැකි බවද කියා සිටි සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස තමා තවම සිටින බවද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපිය ජනාධිපතිවරයාට භාර දීමට සිටි බවත්, නමුත් අනෙක් අයෙ ගෝඨාභය මහතාට සහාය දක්වන්නට යනු ඇතැයි බියෙන් මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටිස්ය.

චාමර සම්පත්