ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ ජනාධිපතිවරණ දැන්වීමට තමන්ගේ කලින් කළ ප්‍රකාශයක් පළ කිරීම සම්බන්ධයෙන් තමාට වගකිව නොහැකි යැයි යුද හමුදාපති ලුතිනන් ​ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ විමසුමකදී පැවසීය.

තමන් 58 වන සේනාංකාධිපතිව සිටියදී කළුතර ට්‍රාජ් එක්සෝටිකා
හෝටලයේ පැවති රක්ෂණ සංස්ථාවේ වාර්ෂික සමුළුවකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා, හමුදාව වෙනුවෙන් කළ සේවය ගැන තමන් කළ කතාවක් ‘‘යූ ටියුබ්’’ මගින් සොයාගෙන, පුවත්පත් දැන්වීම්වල උපුටා ගැනීමක් පමණක් මෙහිදී සිදුව ඇති බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

තමන් මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයද දැනුවත් කළ බවත්, යුද හමුදාපතිවරයා අනාවරණය කළේය.

පුවත්පත්වල උපුටා ගැනීමක් පළවීම සම්බන්ධව තමාට වගකියන්නට නොහැකි බවත්, එය පුවත්පත් දැන්වීම් පළ කළ අය සමග බලාගත යුතු දෙයක් බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

මෙම දැන්වීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කරාවි යැයි තමා අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පෙරේදා (16 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ ය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා