සිය ආබාධිත දෙමවුපියන්ට ඇප උපස්ථාන කරමින් අසල්වැසියන්ගේ ආධාර උපකාර ඇතිව මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි හික්කඩුව නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විද්‍යාලයේ නුවන් මධුමාල් එම විභාගයෙන් ලකුණු 167ක් ලබාගැනීමට සමන්ව තිබේ.

මේ සිසුවා
ගේ පියාගේ දෙපා අප්‍රාණිකව ඇති අතර රෝද පුටුවක ආධාරයෙන් ඔහුගේ සියලු කාර්යන් කරනුයේ නුවන් මධුමාල්ය. ඔහුගේ මවද මානසික හා අක්ෂි ආබාධයකින් පෙළෙන්නීය.

ඉන්න හිටින්න හරිහමන් නිවසක්වත් නැති බොහෝ අඩුලුහුඩුකම් මැද ශිෂ්‍යත්ව විභාගයට මුහුණදී ඉන් ජය ලබා ගැනීමට සමත්වීම සිය බලප්‍රදේශයට මහත් ආඩම්බරයක් බව රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.එම්.ධර්මසින්ද සිල්වා මහතා පැවසිය.

නුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම මහත් අභියෝහයකට තුඩුදී ඇත්තේ ඔහුගේ ආබාධිත දෙමවුපියන්ට හා ප්‍රදේශවාසීන්ට එවන් කාර්යක් සඳහා
වත්කමක් නොමැති නිසා බවද ධර්මසිරි මහතා පවසා සිටියේය.

හික්කඩුව නළාගස්දෙණිය මැටිවලහේන ලිපිනයේ පදිංචිමේ දරුවා නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විද්‍යාලයට සෑම දිනකම කිලෝමීටර් එකහමාරක් පමණ පා ගමනින් ගොස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙයි.

තමාට මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවූයේ නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විදයාලයේ විදුහල්පති සුගත් කුමාර මහතා සහ පන්තිභාර ගුරුතුමිය වන හේමමාලි කුමාරි මහත්මියගේ මගපෙන්වීම යටතේ බවත් එමෙන්ම තමන්ට නොමිලේම අමතර ඉගැන්වීම් කළ ඒ අමරසිංහ මහතා නිසා බවද නුවන් මධුමාල් පවසා සිටියේය.


කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත