ගොඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙකු "බළල් අතක් '' ලෙස භාවිත කර නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේත්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක් එක්වෙමිනි.

'හිස්බුල්ලා ගෝඨාභයගේ බළල් අතක් යයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පුවත්පතකට ප්‍රකාශ කර ඇති බවට එහිදී කී මන්ත්‍රීවරයා, මුස්ලිම් නායකයන් විසින් මුස්ලිම් ජනතාව 'අමාරුවේ දමා ඇති ආකාරයක් වර්තමානයේදී දක්නට ලැබෙන බවද කීය.

එසේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබද තොරතුරු ලබා දුන්නද මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳ නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරන බවට සඳහන් කළ මන්ත්‍රීවරයා, පොලිස් නිලධාරින් 700ක් යොදවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වැළැක්විය නොහැකි බවද පවසා සිටියේය.

මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුරටත් සිය අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා,
"අද අපට තිබෙන ප්‍රධානම ගැටලුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමයි. මැතිවරණ නීති මැතිවරණ කාලය තුළ රාජ්‍ය මටිටමෙන් උල්ලංඝනය කිරීම අවම වියයුතු වුණත් අපට දැන් පෙනනවා නැවතත් විශාල මටිටමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වැඩි වෙලා තියෙනවා කියලා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිශ්ශබිදයි. තොරතුරු දුන්නත් ඔවුන් ක්‍රියාත්මක වෙන නෑ. පොලිස් නිලධාරීන් 700ක් යොදවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වළක්වන්න බෑ. ලංකාවෙම ඉන්න පොලිස් නිලධාර්න් සියලු දෙනාම මේ පිළිබඳ දැනුවත් කරලා මීට විරුද්ධව ක්‍රියා කරන්න කියන්න ඕන. මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂයේ බරපතළ බිඳවැටීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා තමයි ඔවුන් මෙවැනි බාල වැඩවලට පෙළඹෙන්නේ.

ආණ්ඩුව විශාල මූලය අර්බුදයක ඉන්නවා. මෙය කෙතරම් දරුණුද කියනවා නම් ආණ්ඩුව චක්‍රලේඛ ඉදිරිපත් කරලා තියෙනවා අලුත් මිලදී ගැනුම් සියල්ලම නවත්තලා, වාහන, ගෘභාණ්ඩ මේ සියල්ලන්ම, දෙසැම්බර් 31 වෙනකොට ලංකාවේ ආර්ථික වේගය ගැන පුරෝකථනය කරලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව වගේම ලංකාවේ මහ බැංකුව, මේ සියලුම පුරෝකථනවලින් කියන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.62%යි කියලා. දකුණු ආසියාවේ සම්පූර්ණයෙන්ම දුර්වල ආර්ථික වර්ධන වේගය තියෙන්නේ අපේ රටේ. ලංකාවේ ව්‍යාපාර ගණනාවක් ඉදිරියට යා නොහැකිව පසුපසට එමින් තිබෙනවා.

මෙවැනී ආර්ථික අර්බුදයක් තියාගෙන එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ. මේ කරුණු ඔක්කොම ගත්තාම මේ රජය මැතිවරණ නීති උල්ලංඝනය කරන,පොරොන්දු කඩ කරන, රට ආගාධයට ගෙනියන රජයක්.

ඒ වගේම  ඇමැති හකීම් කියලා තියෙනවා හිස්බුල්ලා ගෝෂ්ඨාභයගේ බළල් අතක් කියලා. අපි කවුරුත් බළල් අත් දාලා නැහැ, ඔහුට ඒ පිළිබඳ ප්‍රශ්න කළ යුතුව තිබුණේ කොමිෂන් සභාව ඇතුළෙ. වීඩියෝ අපි නෙමෙයි එළියට දැමිමේ. එය දැම්මෙ මුස්ලිම් මවුලවිවරයක්, මේවා මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව කරන ප්‍රකාශ වෙයි. මුස්ලිම් නායකයන් විසින් මුස්ලිම් ජනතාව අමාරුවෙ දාලා තියෙන අවස්ථා අද අපට පේන්න තියනවා” යනුවෙන්ද පැවසීය.

නිදර්ශනී වික්‍රමසිංහ