වෙළෙඳපොළේ කිසිදු ගැස් හිඟයක් නැති බවත් මාස තුනකට ප‍්‍රමාණවත් ගෑස් සමාගම සතුව තිබෙන බවත් ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ අලෙවි ව්‍යාපෘති සහ පාරිභෝගික
සේවා කළමනාකරු වී. කේවීස්වරන් මහතා පැවැසීය. සමහර ප්‍රදේශවල ගෑස් හිගයක් තිබෙන බවටත් පැතිර පවතින ආරංචි සම්බන්ධව කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කළ කේවිස්වරන් මහතා ඇතැම් තැන්වල ගැස් හිඟයක් තිබෙන බවට සමාගමට පැමිණිලි ලැබී ඇති බවත් පසුගිය කාලය තුළ ගෑස්
මිල අඩුවේ යැයි සිතා ඇතැම් වෙළඳුන් ගෑස් මිලදී නොගත් බව කීය.

ගෑස් මිල අඩුවීමත් සමග කිසිදු හිඟයකින් තොරව ගෑස් රට පුරා බෙදාහැරීමට 9500ක් පමණ වන ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සහ 34ක් පමණ වන බෙදාහැරීමේ නියෝජිතයන් පියවර ගෙන ඇති බවත් කළමනාකාර කේවිස්වරන් මහතා කීවේය. විශේෂයෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩරවල සම්පූර්ණ ගෑස් ධාරිතාව තිබෙන බවට පාරිභෝගිකයන් තුළ තිබෙන විශ්වාසය නිසා මේ වනවිට සමාගමේ ගෑස් ඉල්ලුම ද ඉහළ ගොස් තිබෙන බවත් හෙතෙම පැවැසීය.


-මහින්ද නිශ්ශංක-