ඉදිරි ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ද ඡන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙසට මැතිවරණ කොමිසමට හා අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි
ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (09) රිට් පෙත්සමක් ගොනු කරිණි.

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්, සමග අධිකරණය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ මැතිවරණවලදී බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට හා රක්ෂිත
බන්ධනාගාර ගත  සැකකරුවන්ට ජනාධිපතිවරණයකදී මහමැතිවරණයකදී හා ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට නොමැති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව එවැති මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශය කිරීමට නුසුදුසු වන අයගේ ලැයිස්තුවක් පැවැතිය ද ඊට මෙම පිරිස් අයත් නොවන බවද පෙත්සමකරු සිය පෙත්සමෙන් පෙන්වා දෙයි. ඡන්දය ප්‍රකාශ කිරිමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වන බවද පෙත්සමේ සඳහන්ව ඇත.

මෙලෙස හිමිකම් ලබන පිරිසකට ඡන්දය භාවිත කිරිමට කිසිදු ක්‍රියාපටිපාටියක් හෝ සැකසීමට වගකිව යුතු නිලධාරින් කටයුතු කර නොමැති බවද පෙත්සමකරු කියා සිටී. ඒ නිසා ඔවුන් ඡන්ද ප්‍රතිශතයටද ඇතුළත් නොවන බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.  ඉකුත් ජුලි 17 වැනිදා
මැතිවරණ කොමසාරිස්වරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කළද එම ඉල්ලීම ලබා දිමට මැතිවරණ කොමිසම, එහි සභාපති හා සාමාජිකයින් කිසිදු පියවරක් ගෙන නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.

මේ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී මෙන්ම  එළැඹෙන මහමැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන්ට සිය ඡන්දය පාවිච්චි කිරිමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මැන්ඩාමුස් රීට් නියෝග නිකුත් කරතැයිද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.


-තිළිණි ද සිල්වා-