ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකන් පුරවැසියෙක් බවත්, ඔහු ඇමරීකාව රකිනවා කියා දිවුරා පොරොන්දු වී තිබෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.පිළියන්දල එක්සත් ජාතික පක්‍ෂ ආසන බල මණ්ඩලයේ රැස්වීමකට
සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"රාජපක්ෂළා අද ලොකුවට කතා කරන ඒවා මොනවද? පළවෙනි එක දේශප්‍රේමය, ඒ අය දේශප්‍රේමී අපි දේශද්‍රෝහීයි. එය තමයි ලොකුවට කියාගෙන යන්නේ. දැන් මොකද මේකේ තත්ත්වය. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා තවමත් ඇමරිකන් පුරවැසියෙක්. එයින් ඉවත් වෙනවා කියලා එතුමා ප්‍රකාශ කළ බව ඇත්ත. හැබැයි ඇමරිකන් රජය තවම නිල නිවේදනය නිකුත් කළේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරීකන් පුරවැසියෙක් නෙමෙයි කියලා. එතුමා ඇමරිකන් පුරවැසිකම ගත්තහම කොහොමද කිව්වේ
දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඇමෙරිකාව රකිනවා කියලා පොරොන්දු වෙලා තමයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා දිවුරුම් දීලා ඇමරීකන් කොඩිය රකින්න තමයි ඒ පුරවැසිකම ගත්තේ. හම්බන්තොට හැදී වැඩුණු ගෝඨාභය ලොස් ඇන්ජලීස්වලට ගිහින් එතනින් ඇමරිකන් පුරවැසිකම ගත්තා. දැන් ඇමෙරිකන් පුරවැසිකම එතුමාට දෙවැනි වුණේ මොනවටද? එතුමන්ලාගේ පවුලේ වරිග සභාව උදේ හමුවෙලා ඒ වර්ග සභාවේ තීරණ කළා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා පසුගිය අප්‍රේල් -මාසයේදී.

 එතකොට තමයි එතුමා ඇමෙරිකන් පුරවැසිකම අත්හැරියේ. ඒ කියන්නේ ඇමෙරිකන් පුරවැසිකම දෙවැනි වෙන්නේ ලංකාවේ ජනාධිපති ධුරයට විතරයි. අන්න එතුමාගේ දේශප්‍රේමය.ලෝක ඉතිහාසයේ ඇමරිකන්කාරය‍ෙක් මේ වගේ රටක ජනාධිපති කර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්ති වෙලා ඉන්නවා කියලා දැක්කහම ඇමෙරිකාවට, යැයිකිංට, සීඅයිඒ එකට, නේටෝ එකට ඊට වඩා ලොකු සතුටක් තිබෙනවාද?. අපටත් එනවා පොඩි පොඩි සතුටවල් ලාංකිකයෝ ගිහින් ඉතාලියේ නගර සභාවට, එංගලන්තයේ නගර සභාවට තේරෙනවා කියල ඇහුවහම. ඇමෙරිකාවේ සෙනෙට් සභාවට ගියා කියලා ඇහුවම අපටත් පොඩි සතුටක් එනවා.

ඇමරිකන්කාරයින්ට සතුටක් එන් නැද්ද ලංකාවේ වගේ මෝඩයෝ රැලක් ඇමරිකන්කාරයෙක් රටේ ජනාධිපති කරන්න යනවා කිව්වහම. අපි එයට ඉඩ දිනවාද නැද්ද කියන එකයි තිබෙන්නේ.මේ රටේ රණවිරුවොත් ඉන්නවා. මිලිටරි ජුන්ටාවකුත් ඉන්නවා. ඒ ජුන්ටාව අද සිතාගෙන ඉන්නවා රාජ ආයතනවලට ගිහින් රාජ්‍ය ආයතන තමන් අතට අරගෙන කරගෙන යන හැටි,

නාගරික සංවර්ධන අධිකාරිය ගැන පංපෝරි ගැහුවට හමුදා නිලධාරින් 7000ක් එතන දාලා සිටියා. තණකොළ කපන්න, ඇළවල් සුද්ධ කරන්න නාවුක හමුදාව දාලා තිබුණා. අද අපි ඒ කටයුතු ඔක්කොම කරගෙන යනවා ඒක හමුදා සෙබළක්වත් නැතිව,ඊළගට දක්‍ෂ කළමනාකාරිත්වය,ගෝඨාභය මහත්මයා හිටියා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමකයෙක් හැටියට. සභාපති හිටියේ එයාගේ මසින් නිශාන්ත වික්‍රමසිංහ. එදා මිලිටරි සමාගම මිලියන 14,000ක් ලාභ ලබන ආයතනයක් හැටියටයි භාර දුන්නේ. 2008දී ගෝඨාභය මහත්මයා ශ්‍රී ලංකන් එක ගත්තහම මොකද වුණේ අද බිලියන 250ක් පාඩුයි, මේ රටේ හැම මනුස්සයක්ම 12,50කට ණය කළා, ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විතරක්. බල්ලා ගේන්න ඇරියා බොයින් යානා, පෙම්වතිය ඕනෙ වුණා ගුවන්යානා හරවලා ඇරීයා, නටන්න තිබෙන නාඩගම් ඔක්කොම කළා. කටවුට් ගහන කුමා ස්ටිකර් එකට විතරක් කෝටි 45ක් දුන්නා ශ්‍රී ලංකන් එකෙන්. මෙන්න කළමනාකාරිත්වය.ඊළඟට මිහින් ලංකා කියලා ආයතනයක් තිබෙනවා.

 එහි සභාපති කවුද? නන්දා ගෝඨාභය රාජපක්ෂ. මොකද දැන් මිහින් ලංකා එකට වුණේ. අන්තිමට මිහින් ලංකා එකට ගුවන් යානාත් නැහැ, මිනිස්සුත් නැහැ. රුපියල් පනස්හයදහසක පුටු සැටියක් විතරයි ඉතුරු වුණි. අන්න එහෙමයි ගෝඨාභය මහත්මයාගේ කළමනාකාරීත්වය. නාගරික සංවර්ධන අධිකාරීය, දිනේෂ් ගුණවර්ධන උන්නැහැ හිටපු කාලයේ කරපු සංවර්ධනයකුත් නැහැ. මේ ගෝඨාභය මහත්මයා විතරක් නෙමෙයි, බැසිල් මහත්මයා, චමල් මහත්මයා,  මහින්ද මහත්මයා මේ අය කවුරු හරි හදපු එක රාජ්‍ය ආයතනයක් තිබෙනවා නම් පෙන්වන්න කියලා අපි කියනවා" යනුවෙනි.