මුළුතැන්ගෙයි තිබූ ගෑස් ලිපක් දැල්වීමේදී එය පුපුරා බිංගිරිය, බ්‍රාහ්මණගම, ශ්‍රී පුන්‍යවර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසු ස්වාමීන් වහන්සේ නමක් පෙරේදා (15දා) අපවත් වී ඇති බව බිංගිරිය පොලීසිය පවසයි.

මෙසේ අපවත් වී ඇත්තේ, පොළොන්නරුවේ විජිත නමැති (අවු.31) හිමිනමකි.

මෙම සිද්ධිය පසුගියදා 12දා සිදුවී ඇති අතර, විහාරාධිපති හිමියන්ගේ මැදිහත්වීමෙන් තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ කුලියාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. අනතුරට ලක්වු හිමියන්ගේ තත්ත්වය බරපතළ වූ බැවින්
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති අතර, එහිදී දින 03ක් ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (15දා) උහස් අපවත් වී තිබේ.

දේහයේ මරණ පරීක්ෂණය පෙරේදා (15දා) කොළඹ නාගරික මරණ පරීක්ෂක මොහොඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැති අතර, එහිදී විහාරාධිපති හිමියන් සහ අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැල්වදොරන්ගේ රුවන් ප්‍රනාන්දු (39) යන අය සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්හ.

මෙම මරණය ගස් ලිප පුපුරා ගොස් ශරීරය දැඩි ලෙස පිලිස්සීම හේතුවෙන් සිදුවූ හදිසි අනතුරක් බව දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් , වාසුකවා මහතා පවසා සිටියේය.

කොළඹ නාගරික මරණ පරික්ෂක ඇම්.අෂ්රොප් රූමි මහතාද කියා සිටියේ මෙය ගෑස් ලිප පුපුරා යෑම හේතුවෙන් සිදුවූ හදිසි අනතුරක් බවයි.

බිංගිරිය පොලීසියේ කොස්තාපල් බී.කේ. දසනායක මහතා විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

චන්දන සමරවීක්‍රම