මැතිවරණ පොරොන්දු කඩ කළ නොහැකි ලෙස එය නීතිමය ලියවිල්ලක් බවට පත් කරන බවත් ඒවා කඩ කරන්නන්ට එරහිව නීතිමය පියවර ගැනීමට ජනතාව ඉඩ හදන නීති සම්පාදනය කරන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (26) පැවසීය.

ඔහු මේ බව පැවසුථි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම් උත්සවයට එක්වෙමිනි.

"දේශයේ අපේක්ෂාව" නමින් එළිදැක්වූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් අනුර කුමාර දිසානායන මහතා විසින් පළමුව ඒ සංඝරත්නයට පිළිගන්වනු ලැබිණ. අනතුරුව නැගෙනහිර පළාත්තේ හිටපු ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු, සාහිත්‍යවේදි පියතිලක කම්මැල්ලවීර, හිටපු මලල ක්‍රීඩක සුගත් තිලකරත්න, අචාර්ය අනිල් ජයත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ට පිළිගන්වනු ලැබිය.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සබුද්ධික දේශයක්,
සංතෘප්තිමත් දේශයක්, සුරක්ෂිත දේශයක්, සදාහරීත දේශයක්, සශ්‍රික දේශයක්, නීතිගරුක දේශයක්, ආරක්ෂිත දේශයක්, එක රටක් යන ප්‍රධාන තේමාවන් අටක් යටතේ ඉදිරිපත් කර තිබේ. මෙම තේමාවන් යටතේ එන මාතෘකා අටක් යටතේ වෙන වෙනම ප්‍රතිපත්තීන් එළිදැක්වීම මීට ප්‍රථම සිදුකරිණි. ඒ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, කෘෂිකර්මය, සංස්කෘතිය, පරිසරය, ප්‍රවාහනය,  ජාතික සමගිය ආදි ලෙසය.ජාතික ජනබලවේගය විසින් එළිදක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ප්‍රධාන කරුණු මෙසේය.

 • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන කැබිනට් මණ්ඩලයක් හා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කරන අතර කැබිනට් මණ්ඩලය තිහකට සීමා කරනු ලැබේ.

• අල්ලසෙන් දූෂණයෙන් තොර පාලනයක් ඇති කිරිම, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, බදු රහිත වාහන බලපත්‍ර කපාහැරීම්, හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවස කප්පාදු කර ජනතා බදු මුදල් නාස්තාය වළක්වා ගනු ලැබේ.

•සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අතර සමඟිය නිර්මාණය කිරිම හා ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය කරනු ලැබේ.

 •නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.

• සෑම දරුවකුම පුර්ව ළමාවිය සංවර්ධනයේ සිට වෘත්තීය පුහුණු අධ්‍යාපනය හෝ උපාධි අධ්‍යාපනය  දක්වා අධ්‍යාපනය ලැබිය යුතුය. අධ්‍යාපනය ලබාදීම රජයේ මුලික වගකීමක් වන අතර අකමැති අයකුට
පෞද්ගලික අධ්‍යාපනය ලබාගැනීමේ බාධාවක් නැත.

 • නිවසේ සිට හෝ දෙමාපියන්ගේ සේවා ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් ඇතුළත සෑම දරුවෙකුටම පාසලක් ලබාදීම රජයේ යුතුකම් හා වගකීම වේ.  වැඩිහිටි හා දුරස්ථ අධ්‍යපන ක්‍රමවේද සකස් කෙරේ. ඒ
සඳහා ප්‍රජා අධ්‍යපනික කේන්ද්‍ර ගොඩනගනු ලැබේ.

• තොරතුරු තාක්ෂණය මත සියලු ක්ෂේත්‍ර ඉදිරියට ගමන් කරනු ලබන අතර අන්තර්ජාල පිවිසුම් සඳහා  යටිතල පහසුකම් සලසනු ලැබේ.

• සෞඛ්‍ය සේවය රජයේ මුලික වගකීමක් වේ. බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම සියල්ල එක් අමාත්‍යාංශයක් යටතේ පාලනය කර විධිමත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම,සෑම රෝහලකටම සමාන පහසුකම් ලබාදීම හා රෝහල් සේවා නියාමනයට ස්වාධීන මණ්ඩලයක් පත් කිරිම.

 • සෑම පවුලකටම නිවසක් හිමිවිය යුතු අතර වසර පහක් තුළදී එම ඉලක්කය සපුරනු ලැබේ. රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස වේ.

• ක්‍රීඩාව රැකියාවක් සඳහා සුදුසුකමක් වනවා වෙනුවට ක්‍රීඩාව සංස්කෘතියක් කරගත් සමාජයක් ගොඩනගනු ලැබේ.

• සාහිත්‍යයෙහි වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත්, මුද්‍රණයේදී අවශ්‍ය ද්‍රව්‍ය බදුවලින් නිදහස් කරනු ලබන අතර කලාත්මික වශයෙන් උසස් ග්‍රන්ථ වෘර්ෂිකව මිලදී ගෙන පාසල් පුස්තකාලවලට සහ මහජන පුස්තකාලවලට බෙඳාහරිනු ලැබේ. නාට්‍ය නිෂ්පාදනයට මුල්‍යාධාර ලබාදෙන අතර සියලුම ආකාරවල වාරණ ප්‍රතිපත්ති ඉවත් කර සිනමා කෘති වර්ගීකරණ මණ්ඩලයක් පත්කරනු ලැබේ.

• රටේ තීන්දු තීරණ ගන්නා ප්‍රධාන ස්ථානවල කාන්තා නියෝජනය වැඩි කිරිමට පියවර ගැනේ.

• කාත්තා, ළමා, වැඩිහිටි, විශේෂ අවශ්‍යතා සහිත, සමරිසි හා විවිධ ජාතිකත්වයන්ට අයත්, විවිධ අගම්වලට අයත් ආදි කිසිදු කොටසකට වෙනස් මගකට නොසලකා හරින අතර සෑම ජනම කොටසකගේම අයිතිවාසිකම් සුරක්ෂිත කරනු ලැබේ.

• පරිසර සුරක්ෂිතභාවය තහවුරු කිරිම උදෙසා දැනට පනවා ඇති පනත්හි දුර්වලකම් අඩුපාඩු ඉවත් කරන අතර අවශ්‍යතාව අනුව නව පනත් සම්පාදනය කරනු ලැබේ.

• නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත්වී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා නිෂ්පාදනය කර කැඳවා  ගත හැකි සහන ලබාදීම.

• නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරිම හා දේශීය මෙන්ම විදේශීය වෙළදපොළද ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය ශක්තිමත් කිරිම තුළින් නව රැකියා උත්පාදනය.

• තොරතුරු තක්ෂණය මඟීන් ගොවින් දැනුවත් කරමින් ගොවියාගේ හිතුමතයට නොව රටේ අවශ්‍යතාව අනුව නිෂ්පාදනයට දායක කරගැනීම තුළින් ගොවියා ශක්තිමත් කර ආර්ථිකය ශක්තිමත් කිරීම.

මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂික අනුර කුමාර  දිසානායක මහතා සහ සාහිත්‍යවේදි කෞෂල්‍ය  කුමාරසිංහ, අලුත් පියාපත් සංවිධානය නියෝජනය කරමින් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපති ජ්‍යෙෂ්ඨ  ඉංජිනේරු සුරියප්‍රගාසම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක යන මහත්ම මහත්මිහුද අදහස් දැක්වූහ.

-මුදිතා දයානන්ද-